Tuesday, April 24, 2018

ගෝල්ෆ් ජෝන්

වීදිය දිගේ ඇවිදගිය 'ජෝන්'ට දක්නට ලැබුනේ ගෝල්ෆ් බෝලයකි. හෙමිහිට බිමට පහත්වී එය අහුලාගත් ඔහුට ඒ පිළිබඳව ආශාවක් ඇතිවූයේ ඉබේමය. බෝලය සාක්කුවේ දමාගෙන මාවතේ ඉදිරියට ඇවිදගියේ යම්කිසිවක් සොයාගැනීමේ බලාපොරොත්තුවෙනි. කැඩුනු ගෑස් පයිපයක කොටසක් සහ කොසු මිටක් සොයාගෙන එයින් ගෝල්ෆ් පිත්තක් සාදාගෙන ගෝල්ෆ් ක්‍රීඩා කිරීමට සැරසුනේය. ක්‍රීඩාව අවසන් වූයේ වීදියේ වූ සිගරට් කඩයක වීදුරුව කුඩු කරමිනි. එවකට ඔහු හත්වන වියේ පසුවිය. ඒ සිදුවීම ඔහුගේ ජීවිතය වෙනස් කිරීමට හේතුවක් විය. පියා විසින් අලාභය සඳහා මුදල් ගෙවීමක් කර කුඩා 'ජෝන්' හට ගෝල්ෆ් ක්‍රීඩා කට්ටලයක් රැගෙන දුන්නේය. ඔහුගේ සතුට නිම්හිම් නැත. ජෝන්ගේ සහෝදරයා වූ හැරල්ඩ් පැකිලීමකින් තොරවම ජෝන්ගේ පුහුණුකරු වීම බාරගත්තේය. 

Image result for john montague golfer

ජෝන් ඉතා ඉක්මනින් ක්‍රීඩාව ප්‍රගුණ කරන්නට වූ අතර විශ්මිත වූ ක්‍රීඩා කෞෂල්‍යයන් ප්‍රදර්ශණය කලේය. එවකට ඔහු සතු එක් දක්ෂතාවයක් වූයේ වැලි යට එකමත එක තැබූ ගෝල්ෆ් බෝල තුනක් තබා නරඹන්නන් පවසන බෝලයට හරියටම පහර එල්ල කිරීමට ඇති හැකියාවයි. තවත් විටක ඔහු තම සගයෙකුට අභියෝග කරයි. යාර 366 දුරින් පිහිටි ගෝල්ෆ් වල වෙත බෝලය යොමු කිරීම එම අභියෝගයයි. ඔහුගේ මිතුරා සුපුරුදු ගෝල්ෆ් පිත්ත පාවිච්චි කල අතර ජෝන් මේ සඳහා භාවිතාකලේ රේක්කයක්, සවලක් සහ බේස් බෝල් පිත්තකි. ඔහුගේ සගයා එල්ලබ්කල පහර යාර 250ක් පමන දුරට යන්නට ඇත. නැවත එල්ල කල පහර වලින් වලට අඩි දෙකක් පමන දුරින් බෝලය නැවතුනි. ජෝන් ගෝල්ෆ් බෝලය උඩ දමා බේස්බෝල් පිත්තෙන් පහරක් එල්ල කලේය. බෝලය වල ආසන්නයෙන් පිහිටි වැලි ගොඩකට වැටුනි. ඔහු තම සවල ගෙන එල්ල කර පහරින් වලට අඩි 30 ක් පමන දුරකට බෝලය යොමු කිරීමට ඔහු සමත්විය. අවසන රේක්කය ගත් ඔහු බිලියට් බෝලයක් වලට යොමු කරන පරිද්දෙන් ගෝල්ෆ් බෝලය වල කරා එල්ල කරන ලදී. මෙවනි ක්‍රියා නිසා ඔහුට නිරන්තර ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙන්නට විය. ජෝන් එයට දැඩි ලෙස ආශා කලේය. ලේක්සයිඩ් ගෝල්ෆ් සමාජයේ ක්‍රීඩා කල ඔහු වයස 30 දී එහි විශිෂ්ටතමයා බවට පත්වූයේය. ක්‍රීඩා සමාජයේ සැමදෙනා අතර මෙන්ම සාමාන්‍ය ජනතාව අතර මොහු ජනප්‍රිය චරිතයක් බවට පත්විය. මොහු කිසිවිටක තමා ගැන උදම් ඇනුවේ නැත. නමුත් අනුන් ඔහු ගැන උදම් අනනවාට ඔහු තුල කැමැත්තක් විය. සත්තකින්ම මොහු ජනයා අතර වීරයෙක් බවට පත් වූවේය.

නමුත් මේ සියලු ජනප්‍රියතා අතර මොහුගේ ජීවිතය තරමක ගුප්ත ස්වරූපයක් ගන්නා බවත් සමහරුන්ට ඉව වැටී තිබුනි. මන්දයත් ඔහු කොයිතරම් හොඳට ගෝල්ෆ් ක්‍රීඩා කලත් ක්‍රීඩා සමාජයේ දක්ෂතම ක්‍රීඩකයා වුවත් කිසිම විටක ප්‍රසිද්ධ තඟාවලි සඳහා සහභාගී වීම ඔහු ප්‍රතික්ෂේප කලේය. අනෙක් අතට ඔහුගේ ජායාරූප ලබාගන්නවාට ඔහු කිසිසේත්ම කැමතිවූයේ නැත.

මේ අයුරින් ඔහු කැමති ආකාරයට දිගටම සිටින්නට ඔහුට හැකියාව නොලැබුනු අතර මාධ්‍යවේදියන්ට ඕනෑ වූයේ කෙසේහෝ මොහුගේ ජායාරූපය සහිතව ඔහුගේ මේ දක්ෂතා පිළිබඳව තොරතුරු රට පුරා බෙදාහැරීමටය. නමුත් ජෝන් කිසිවිටක ජායාරූප ගන්නට ඉඩ නොදෙන නිසා මාධ්‍යවේදීන් ගේ උත්සාහ ව්‍යර්ත වී තිබුනි.

'ග්‍රාන්ට්ලන්ඩ් රයිස්' නමැති ක්‍රීඩා වාර්තාකරු විටෙක ජෝන්ගේ දක්ෂතා ගැන පලකරපු ලිපියක් විශාල ගනනකගේ අවදානය ලබාගැනීමට සමත්විය. එයින් පසු 1937 දී 'ටයිම්ස්' මැගසිනය විසින් ඔහු ගැන ලිපියක් පලකරන ලදී. එහිදී පෞද්ගලික ජායාරූප ශිල්පියෙකු යොදවා ජෝන්ගේ ජායාරූපයක් ඔහුට හොරෙන් ලබාගෙන එය ලිපිය සමග පලකරන්නට ඔවුන් සමත් වූවෝය. ජායාරූප ශිල්පියා පඳුරු අස්සේ සැගවී සිටිමින් එම ජායාරූපය ලබාගත් බව සඳහන්. එහි ජෝන්ව හඳුනාගැනීමට එතරම් පහසු නැත. 

Image result for john montague golfer

ජෝන්...ජෝන් මොන්ටගූගේ රහසිගත දිවියට කණ කොකා හඬන්නේ මේ මොහොතේ පටන්.

නිව්යෝක් පොලිස් ස්තානාධිපතිවරයෙක්වූ 'ජෝන් කොසාර්ට්' මොන්ටිගූ පිලිබඳව පලවුනු ලිපිය දුටුවේය. ඔහු පුදුමයට පත්වූවේය. ඔහු අවුරුදු හතක් තිස්සේ 'හනා' නමැති නඩුව සම්බන්දයෙන් කරුණු සොයමින් සිටි අතර එම මිනීමැරුම සම්බන්දයෙන් හතරවන සැකකරුවා සොයා ගැනීමට නොහැකිව සිටියේය. පොලිස්පතිවරයා ලොස් ඇන්ජලිස් පොලීසියෙන් උදව් ඉල්ලා සිටියේය. කෙසේහෝ ජෝන් මොන්ටිගූ අත්අඩංගුවට පත්විය. ඔහු තමාගේ සත්‍ය නම ජෝන් මොන්ටිගූ නොවන බවත් එය 'ලා වර්න් මුවර්' බව පිලිගත්තේය. ඇමරිකානු ඩොලර් 10,000 ක ඇප මත ඔහු මුදාහැරුනි. නමුත් නැවත වතාවක් බීර හලක සිදුවූ සිද්දියක් මත ඔහු අතඩංගුවට පත්වූ අතර ඩොලර් 25,000 ක ඇප මත මුදාහරින ලදී. එහිදී ඔහු තම නිවෙස වෙත කෙලින්ම යන බවට වාර්තාකරුවන්ට පවසා තිබුනි. නමුත් එය වෙනස්කල ඔහු හෝටලයක කාමර 17 ක් කුලියට ගෙන ඔහුගේ සමීපතයන් සමග තාවකාලිකව නවාතැන් ගන්නා ලදී. ඔහු අතිශය ප්‍රසිද්දියට පත්ව සිටි නිසා ඔහු නවාතැන් ගත් හෝටලය අසල මිනිසුන්ගෙන් තරුණ ගැහැණු ළමුන්ගෙන් පිරී ඉතිරීමට වැඩි වෙලාවක් ගත්වුනේ නැත. ඔවුන් සමරුපොත් රැගෙන ජෝන්ගේ අත්සන ලබාගැනීනට පොරකෑවෝය. ඒවාට සමරු ලබාදුන් ඔහු තම සමීපතයන් සමග 'කොක්ටේල් පාර්ටි' යක් පැවැත්වූවේය. මේ ආකාරයට තම සමීපතයන් සමග සැප පහසු දිවියක් ගෙවන්නට ඔහු පෙලඹුනේය..

මේ අතර ඔහුට නැවත උසාවිය හමුවේ පෙනී සිටීමට නියෝග ලැබුනි. මෙහිදී මොන්ටිගූ ගේ ගෝල්ෆ් උපකරණ කිහිපයක් අපරාදය සිදුවූ ස්තානයේ වාහනයක තිබී හමුවුනි. 'හනා' පවුලේ අය ඔහුට විරුද්ධව සාක්ෂි දෙමින් කියා සිටියේ අපරාධය සිදුවන මොහොතේ එක් අපරාධකරුවෙක් 'වර්න්' යන නමින් අනෙකෙක්ව ඇමතූබවයි. ඒවා ඔහුට විරුද්ධව පැවති ප්‍රභල සාක්ෂි බවට පත්වූවේය.

ජෝන් මොන්ටිගූගේ මව සහ සොහොයුරිය ඔහුට පක්ෂව සාක්ෂි දුන්නෝය. ජූරිය නඩු තීන්දුව ගෙන ඒමට පැය හතරක් පමන ගන්නා ලදී. මෙසේ නඩුවේ ජූරි තීන්දුව අනුව ජෝන් මොන්ටිගූ නිදහස් බව ප්‍රකාශ විය. රැස්ව සිටියෝ සතුටින් ඉපිලෙමින් සුභපැතුම් එක්කලහ. නමුත් නඩුකාරයා ජූරියේ තීරණය පිළිබඳව තම අසතුට පල කලේය. කෙසේ වෙතත් නඩුව සඳහා විශාල නඩු ගාස්තුවක් ගෙවූ ජෝන් දැන් නිදහස් මිනිසෙකි.

කාලය ඇවෑමෙන් වර්ශ 1937 නොවැම්බර් මස ජෝන් මොන්ටිගූ තම පළමු ප්‍රදර්ශන තරඟය පැවැත්වීමට කටයුතු යොදා තිබින. නමුත් එහිදී රැස්වූ අසීමිත ජනකාය නිසා ජෝන් හට පලමු පහර එල්ල කර දෙවන පහර සඳහා යාමට සෑහෙන වේලාවක් ගතවිය. මේ ආකාරයට ජෝන් හට පෙර දැක්වූ දස්කම් දැක්වීමට නොහැකිවිය.

සමහරවිට ඔහුගේ සිත ඔහු වරදකරු ලෙස පිලිගන්නා නිසා එසේ වන්නට ඇත.

ඔහුගේ ජීවිතයේ තව හොඳ දෙයක් ලෙස වූයේ විවාහයයි. වැන්දබුවක් වූ 'එස්ටර් ප්ලන්කට්' සමග විවාහ වූ ඔහු විවාහ දිවියේ යම් සතුටක් ලැබුවේය.

ඔහු ක්‍රීඩා තරඟ වලට සහභාගී වූවත් ඒවා සාර්තක වූයේ නැත. ඔහු මුදල් ආයෝජනය කර යම් ව්‍යාපාරවල නිරතවූවද ඒවාද සාර්තක නොවීය. 1947 දී බිරිඳගේ වියෝවෙන් ජෝන්ගේ දිවිය සම්පූර්ණයෙන්ම අඩපණ වූවේය. බිරිඳගේ වියෝවෙන් දෙවසරකට පසු බීමතින් රිය පැදවීම නිසා අතඩංගුවට පත්වූ අතර එහිදී හර්දයාබාදයක් ඇතිවිය. 1963 දී ඉනිමඟකින් වැටුනු ඔහු සති කිහිපයක් රෝහල්ගතව සිටියේය.

මේ ආකාරයට ඔහු කරා අභාග්‍ය පැමිනියේ නොසිතූ අයුරින් ය. ඔහු සතුව මුදල් ඉපයීමේ මාර්ග මෙන්ම අදහස් ගනනාවක් පැවතුනද ඉන් එකක්වත් හරියාකාරව සැලසුම් කරගැනීමට ඔහුට හැකිවුනේ නැත. ඔහුගේ සිත නිතරම ඔහු කල වැරදි පිලිබඳව ඔහුටම දොස් පවරන්නට ඇත. අති විශාල ජනකායකගෙන් ආදරය දිනාගත් ජෝන් ටිකෙන් ටික එය නැතිකරගත්තේය.

ඔහුගේ දක්ෂතා හීනවීම සහ ජීවිතයේ සිදුවූ අභාග්‍යසම්පන්න දේවල් එයට ප්‍රධාන හේතුවක් වන්නට ඇත.

1972 දී දෙවන හර්දයාබාදයට මුහුනදුන් ඔහු ජීවිතයෙන් සමුගත්තේය. මෙතරම් ජනදරයක් ලබාසිටි ඔහුගේ මෘත දේහය මෝචරිය මත සතියක කාලයක් තබා තිබුනේ එය භාරගැනීමට කිසිවකු නොසිටිය බැවිනි.

අවසානයේ ඔහුගේ යහලුවෙක් සිරුර හඳුනාගෙන අවසන් කටයුතු සිදුකිරීමට භාරගත්තේය. ඔහුගේ අවසාන කටයුතු සඳහා සහභාගී වූයේ විසි නමදෙනෙක් පමනි. සුවහසක් ජනී ජනයාගේ ගෞරවයට මෙන්ම ආදරයට පාත්‍රවූ මහා ගෝල්ෆ් ක්‍රීඩක ජෝන් මොන්ටිගූ ගේ කතාව එයින් නිමාවිය....


\මිෂ්කා/

No comments:

Post a Comment