ඒ සිද්දි දාමයෙන් පස්සෙ අපිට ඉස්කෝලේ මාරම තැනක් තිබ්බේ. ඒ කියන්නේ තිබ්බේ පන්ති කාමරය තමයි ඉතින් ..
ඔන්න අවුරුදු නිවාඩුවත් ආවා. ගෙදර ඉන්න කාලේ ආයෙත් සුපුරුදු විදියටම කැට සෙල්ලම පටන් ගත්තා. දිනාගෙන ඇවිල්ලා සල්ලි ටිකක් හම්බවෙනකොටම ඔන්න ඉතින් ඇහෙනවා 'මේ අවුරුදු කාලේ හිනහවෙයන් රාලේ..තෙල් ඉහිරුනු කැවුම් ගෙඩිය වාගේ..' කැවුම් බඩගින්න ඉතින් පොඩි බඩගින්න වගේ නෙමේනේ..කැවුම්වල දහසකුත් ඇදකුද කියල හොරෙන් හදපුවා දෙක තුනක් බඩට දාගෙන ආයේ කැට පොලට යනවා.
අපිට අවුරුදු ජයයි. කැට ගහල ඇති වුනාම ඔලිඳ කෙලියට තමා යන්නේ. අපි කරපු ඔලිඳ කෙලිය අනිත් අය කරපු එකට වඩා සෑහෙන වෙනස්. ඒවා ඉතින් මෙතන කියන්න අමාරුයි ...
කොහොමින් කොහොමහරි අවුරුදු ජයටම අවසන් වීගෙන එනවා. ඉස්කෝලේ නිවාඩුවත් ඉවරයි. 'ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ' කිව්වට යන්නම වෙනවා. සීයට අසූව නැත්නම් මොකද්ද එකක් තියෙනවාලුනේ. සීයගේ වයසයි ඉස්කෝලෙයි අතර සම්බන්දය ගොඩක් එවුන්ට ප්‍රශ්නයක්. ඒ කොහොම වුනත් ඔන්න හා හා හරි හාවා කියල කැලේ මැදින් ඉස්කෝලේ යන්න පිටත් වුනා. මෙන්න යනකොට ඉවුරේ ඉන්නවා ඉබ්බා. මූත් ජයට ඇඳගෙන ඉස්කෝලේ යන්න. ඌට ඉබ්බා කියන්නේ හිමින් ගමනක් නිසානම් නෙමයි. ඇත්තටම ඌ ගල් ඉබ්බා. ඒක වෙනම කතාවක්.
කොහොමහරි ඉස්කෝලෙටත් ආවා. පොඩ්ඩක් විතර පරක්කුයි. පොඩ්ඩක් කිව්වට පළවෙනි පීරියඩ් එකත් ඉවරයි. නිකන් මොකටද ගේට්ටුවේ සිකුරිටි අන්කල්ට කරදර කරන්නේ කියල හිතාගෙන පන්සල පැත්තෙන් තියෙන අපේ සුපුරුදු ස්පොට් එකෙන් ඉස්කෝලේ ඇතුලට පනින්න තීරණය කලා. වෙන එවුන් ඉස්කෝලෙ ඇරෙන්න කලින් එලියටයි පනින්නේ. අපි ඒකට දෙකම කරනවා කියල ආඩම්බර වුන අවස්තා එමටයි.
'මචන් අද නම් අරූ අනිවාර්යයෙන්ම ඇති'
මටත් ඒක අමතක වුනා නෙමේ. පන්සල පැත්තෙන් ඉස්කෝලෙට පනින ඕන එකෙක් මූව දැකලා තියෙනවා ..දන්නවා..මූත් එක්ක ඔට්ටුවෙලා තියෙනවා ...ඕව කිය කිය ඉන්නකොටම අලි කඳයා වගේ මූ අපි ඉස්සරහා...
'මොකද මෙතන වෙන්නේ'
මට ඒ වෙලාවේ තමයි ගණදෙවි හෑල්ල මතක්වුනේ.
'මූ පනින්න ලෑස්ති වුනේ. හොඳ වෙලාවට මම දැක්කේ. ඌව අරගෙන යන ගමන්'
'උඹ මෙතනින්ම පැනලා මූව එක්ක යන්නද හදන්නෙ'
'ආයේ ගේට් එකට වටයක් යන්න ඕනේ නෑනේ. මෙතනින් පැනල එක්ක යනවා. මම ප්‍රිෆෙක්ට් රූම් එකට එක්කගෙන යන්නම්' එහෙම කියල මම ඉබ්බගේ අතින් අල්ලගෙන තාප්පෙන් ඌව ඇතුලට දාලා, මාත් පැන්නා. ඉබ්බට මාර ත්‍රිල්..ඒකේ වැඩිකමට මූ අරූගේ නම කියල කෑගැහුවා.
'බල්ලට බිස්කට්...හූ හූ බල්ලට බිස්කට්..'
මාලුවා නහින්නෙ කට නිසා වගේම ඉබ්බා නහින්නෙත් කට නිසා කියල මට ඒ වෙලාවෙ මතක් වුනේ. මම ඉතින් කොකා වෙලා දන්න ශිල්ප පෙන්නුවා.
'අඩෝ ඔහොම හිටපන් කාලකන්නිය..දුවන්නෙපා...අහුවුනොත් තෝව මරනවා' කියල කැගහගෙන මාත් ඉබ්බා පස්සෙ දිව්වා. මරු විකලෙන් බල්ලට බිස්කටුත් අපේ පස්සේ...
ඉතින් එතනිනුත් ගැලවිලා දෙවියන්ට විතරක් කරන්න පුළුවන් වැඩ දොළහ කරන්න තියෙන උන් වගේ අපි ඊලඟට ගියේ ඊලඟ වැඩේට. පන්තියට...ඉගෙන ගන්නත් එපැයි. යනකොට ගණන් පීරියඩ් එක.
'ප්‍රැක්ටිස් ගිහිල්ලා ආවේ මිස් . හරිම මහන්සියි..' කියාගෙන පන්තිය ඇතුලට ගිහිල්ලා ඒ පයින්ම 'මිස් ටක් ගාලා කැන්ටිමට දුවල එන්නම්..' කියල ආයේ මාරු වුනා. අපිටම කියාපු මිස්..හරිම හොදයි ..ඇත්තටම සංවේදී හදවතක් තිබුන කෙනෙක්...
කාඩ් සෙල්ලමත් නැවතුන හින්දා කට්ටිය ෆුල් අවුලෙන් හිටියේ. ඔය අතරේ තමයි දැන් ඔය ඇමෙරිකාවේ ඉන්න ඩිල්ෂාන්, නැත්නම් ඉරංග කිව්වම ඕන එකෙක් දන්නව..අලුත්ම කන්සෙප්ට් එකක් ගෙනාවේ. ධම්මික පෙරේරවත් ඒ වෙනකොට හිතල තිබුනේ නැති සෙල්ලමක් මූ හොයාගත්තා. කවකටුව අරගෙන ඩෙස් එකේ රවුමක් ඇන්ඳා. දැන් ඉතින් කට්ටිය කොර. වෘත්තයක චාපය, ඒකට ලම්භකය ..මෙලෝ හසරක් නොතේරුනත් අපි ඌ කරන දේ බලාගෙන හිටියා. වෘත්තය කොටස් හතරකට බෙදුවා...සමාන කොටස්...ඒවා මාරුවෙන් මාරුවට අඩු වැඩි කියල නම් කලා. ඌ පුටුවෙන් නැගිට්ටා...අපිත් නැගිට්ටේ ඉබේම. සාක්කුවෙන් ආය කටුවක් අරගෙන ඒක ඩෙස් එක උඩින් තිබ්බේ කාඩ් පැක් එකක් ගහන විදියට. ඒක කවකටුව ගහල තිබ්බ සිදුර උඩින් තියලා කවකටුව ගැහුවා. දැන් කැරම් ගහනවා වගේ ආය කටුවේ හිසට ගැහුවා...ඒක කැරකිලා කැරකිලා වැඩි පැත්තක නතරවුනා..
ඔන්න ඔහොමයි අපි ඊලඟ සෙල්ලම පටන් ගත්තේ. මුලින් සත විසිපහට, පනහට, රුපියලට, දෙකට, පහට ඔට්ටු දැම්මා. මේක කාඩ් සෙල්ලමට වඩා ජොලි ..වැඩේ නැගලා යනවා. මේකට 'ජැක්පොට්' කියල නමක් වැටුනා. ඒ වගේම හොයාගත්තු එකාව දිනපු එවුන් සතුට වැඩි කමට සින්දු කියල බදාගත්තා
'ජැක්පොට් පද්මාවතී ඊ ඊ ..ආලේ නොකරා බැරී...'
රුපියල් දහයේ ඔට්ටු වැටුනා. ඔක්කොම හොල්මන් කරල තරංගයයි සංජයයි දැම්ම සීයේ ඔට්ටු..ඒ කාලේ සීයක් කියන්නේ ඉතින් ..අම්මෝ...
ආයේත් අහල පහල පන්තිවල එවුන් අපේ පන්තියට වටවුනා. ඕමී සීන් එක මතකෙවත් නෑ....හැබැයි මුල ටිකේ අපි බොහොම පරිස්සමෙන් මේක කරේ. ඒ නිසා දවස් ගානක්ම කිසිම අවුලක් නැතුව වැඩේ කෙරීගෙන ගියා. අපි හිතන් හිටියේ දිනන සල්ලි වලින් හිත පිරෙන්න කන්න. අනික කානිවල් එකෙන් ෆ්ලේවර්ස් ගොඩක අයිස්ක්‍රීම් කන්න...ඒක ඇත්තටම ලොකු හීනයක්...
ඒ සුන්දර දවස උදාවුනා. හොඳට ඉර පායලා තිබුන දවසක්. වළාකුලුත් වැඩිය තිබුනේ නෑ. එක වළාකුලක රිදී ඉරක් වගේ තිබුනා මතකයි. කිඩාරම් මලේ සුවඳ පවා දැනුන දවසක්. රෝමෝද්ගාමක පේශීත් මොකද්ද වුනා..රසෝද්ගමනය...දන්නෙ නෑ...
අපේ අලහේන්ද්‍ර සර් මේ පෝස්ට් එක බැලුවොත් අහයි අපි කොහොමද ඕලෙවෙල් වලට ඩී ගත්තේ කියලා..ඒක නිසා වැඩි විද්‍යාව ඕනේ නෑ. අචිරවතී මිස් කියලදීපු ස්වර පරාසයන් අතර දෝලනය වෙලා සප්තක අතර අතරමංවුන දවසක් වෙන්න ගියේ මොහොතයි. ඩෙස් වලට බෙර ගගහ සින්දු කියපු උන් එකපාරටම සින්දු නැවැත්තුවා.
අනේ..එනවා...ආයෙමත් ආදරෙන්...ගත දුර හන්දා අඩියට දෙකට දුවල එනවා..ඔව් ඔව් උඹලා හිතපු කෙනා තමයි..අපේ සෙක්ශනල් හෙඩ්. අපි අහුවුනා යාලුවනේ..ඔව් ආයෙමත් ...
'අපි තාමත් කරත්තේ..පූනූ ගෙවුනු කරත්තේ...ගොන්නු ඉතින් අපිම තමයි ..නැත්නම් දෙවැනි පාරක් දෙයිද සර්ට..
'සමනළ කන්දට පියඹන සමනලුන්ට කතාකරලා කියමුද අපි එක දවසක අරන් යන්න...ඕන වුනේ නෑ ...සර්ම කනෙන් අල්ල්ලා ආයේ බුරියෙන් අල්ලලා පිට නවල ආකර්ශනීය පහරවල් දීලා අපිව ආයේ එක්කගෙන ගියා...
ටසිරි..පොඩි උන් කෑ ගහනවා 'පෙරහැර එනවෝ පෙරහැර එනවෝ දඩිබිඩි ගාගෙන අයියලා එනවෝ'
සුදු ගවුමේ මඩ ගෑවුන හැටි හොයන්න වගේ සුදු කලිසම්වල මඩ ගෑවුන හැටි හොයන්න අයත් හිටියා සත්තයි....
'තොපිලා ආයේ වෙන එකක් පටන් ගත්තා නේද ..ගනිවු ඔක්කොම සල්ලි සාක්කුවල තියෙන'
අපරාදේ ..හොඳට දිනාගෙන ආපු දවස...ඔක්කොම වතුරේ...නෙමෙයි සර්ගේ අතේ...
කානිවල් එකේ අයිස්ක්‍රීම් එකක් දියවෙලා බිංදුවක් මගේ මූණ දිගේ එනවා..දිව දාලා ඒක ගත්තට ආවේ ලුණු රහක්....අපේ මල්වගේ පුංචි හිත් තැලෙන්න ඔන්න මෙන්න...
'ගලෝපිය පරයා බැජ් එක'
මම මීක් නැතුව බැජ් එක ගලවලා සර්ට දුන්නා...අපේ ප්‍රින්සිපල්ගේ අහිංසක හීනේ බොඳවෙලා ගියේ ඒ විදියට
.
<උලමෙක් වගේ ඒක මොකද්ද කියල කල්පනා කරන්න එපා. දන්නෙ නැත්නම් ගිහිල්ලා කියවපන් 'ඕමිය'>
ඊට පස්සෙ පැය දෙකක් විතර යනකම් ඉස්කෝලේ කවුරුත් අපිව දැක්කේ නෑ. ඊට පස්සෙත් දවස් ගානක් යනකම් ඉස්කෝලේ කවුරුත් අපිව දැක්කේ නෑ.
.
.
.
.
වෙසක් එකට අපේ බෞද්ධ සංගමෙන් දන්සලක් දුන්නා. ඒකට අපි ආවා. අපේ උන් අපි ලඟට ආවේ දුවගෙන...
'අඩෝ උඹ නියමයි බන්..මට එවපු වෙසක් කාඩ් එක ගති බන්. උඹ නියම යාලුවෙක්. කල්‍යාණ මිත්‍රයෙක්'
'මට එවපු එකත් මරු බන්..තෑන්ක්ස් බන්'
තවත් එකෙක් කියනවා.
'බෞද්ධ සංගමෙන් මේ පාර ගහපු වෙසක් කාඩ් ඔක්කොම විකිණිලා' මම ඇහෙන්නෙ නෑ වගේ හිටියා...
'මේ පාර වෙසක් කූඩු ටිකත් හරිම ලස්සනයි ..වෙනදා වගේ නෙමෙයි'
කානිවල් එකේ අයිස්ක්ක්‍රීම් හීනේ දියවෙලා...අපේ ප්‍රින්සිපල්ගේ හීනේ දියවෙලා...
කන හාරවන සද්දයක් ආවා...ලවුඩ්ස්පීකර් එක ටියුන් වෙනවා...බෙග් මාස්ටර් ඉන් ඇක්ශන්....
'සකල සතම බොමු බැතියෙන්...'
ඒක ඇහුනා විතරයි අපේ ඇස් වලට අමුතු එලියක් ආවා...දිවට අමුතු රසයක් ආවා...වෙසක් වුනාට මොකෝ මේ කියන්නේ ...වරෙල්ලා...යන්න යමල්ලා...මළ කෝලං බහු රූ බොහොමයි...
'සිංහල බෞද්ධ පාසල් කියන්නේ විනය අතින් ඉස්සරහින්ම ඉන්න ඉස්කෝල..'
සර් කෙනෙක් අලුතෙන් ආපු මිස් කෙනෙක්ට එහෙම කියනව ඇහුනා....
\මිෂ්කා/
No comments:
Post a Comment