

ඕටිසම් (Autism) යනු පූර්ව ළමාවියේදී ළමුනට ඇතිවිය හැකි මානසික තත්වයකි. මනෝ වික්ශිප්තභාවය ලෙස හැඳින්වෙන මෙය සන්නිවේදන දුර්වලතා සහිත මානසික තත්වයක් ලෙස හැඳින්විය හැකිය. අනෙක් අය සමග කතාබහ කිරීමට ඇති අපහසුව, සබඳතා පවත්වාගැනීමට ඇති අපහසුව මූලික රෝග ලක්ෂණ වෙයි. මීට අමතරව මේ ලක්ෂණ නිසාවෙන්ම ඔවුන්ට යහලුවන් ඇතිකරගැනීමේ නොහැකියාවක් මෙන්ම අකමැත්තක් පෙන්නුම් කෙරේ. ඔවුන් ලෝකය දකින්නේ සහ සන්වේදී වන්නේ අනෙක් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා වෙනස් අයුරිනි. පුද්ගලයන් සමග නෙතට නෙත බලා කෙලින් කතා කිරීම සිදු නොකරති. තවද ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේම ලෝකයක් සාදාගෙනය. එහිදී ළමා වයසට නොගැලපෙන තත්වයක් පෙන්නුම් කරයි. මේ රෝගී තත්වය හඳුනාගනු ලැබුවේ ඇමරිකානු වෛද්‍ය ලියෝ කැනර් විසින් 1943 දීය.
ඕටිසම් රෝගයෙන් පෙලෙන ළමුන්ට ඔවුන් සිත තුල ඇතිදේ ප්‍රකාශ කිරීමේ අපහසුවක් පවතී. අන් අයගේ ප්‍රකාශයන් සහ හැඟීම් හඳුනාගැනීමට නොහැකිය. සමහරවිටක කිසිම අරමුණකින් තොරව හැඬීම හෝ සිනාසීම සිදුකරනු ලබයි.
ඕටිසම් සඳහා ඖෂධ නොමැති අතර නිසි අධ්‍යාපන සහ චිකිත්සක ක්‍රම මගින් පාලනය කල හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග ලක්ෂණ වෙනස් විය හැකිය. මෑත කාලය සලකා බලන කල මේ රෝගී තත්වයෙන් පසුවන ළමුන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර සෑම ඇමරිකානු දරුවන් 68 දෙනෙකුගෙන් එක් අයෙකු ඕටිසම් තත්වයේ පසුවන බව අනාවරණය වී තිබේ. මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන අයෙකු ලෙස 'ක්‍රිස්ටීන් ෆෙරාරෝ' හැඳින්විය හැකිය. ඇය ඔබ අප කවුරුත් ආදරය කරන 'සෙසම් ස්ට්‍රීට්' කතා රචිකාවියයි. ඇය විසින් එම වැඩසටහනට 'ජුලියා' නම් කුඩා ගැහැණු ළමයෙකු නිරූපණය කරන මපට් චරිතයක් හඳුන්වා දුන්නීය. මේ ආකාරයට සමාජයේ නොයෙකුත් අයගේ අවධානය ඕටිසම් සඳහා යොමුවී තිබීම සතුටට කරුණකි. මේ දිගහැරෙන්නේ ඕටිසම් රෝගයෙන් පීඩා විඳ එය ජයගන්නට කටයුතු කරගෙන යන තරුණයෙකුගේ කතාවයි.
ඩේවිඩ් සහ ඩෙබී මැක් එල්වින් යුවලට දාව වර්ශ 1987 ඔක්තෝම්බර් මස පළමුවනදින මෙලොව එලිය දුටු ජේසන් මැක් එල්වින් වයස අවුරුදු දෙක වනවිට ඕටිසම් රෝගයෙන් පීඩා විඳින්නට වූවේය. ඔහුව විශේෂ අධ්‍යන පන්ති සඳහා යොමු කෙරුනි. මුල් අවස්තාවල අන් ළමුන් සමග සබඳතා පැවැත්වීම ඔහුට සෑහෙන අසීරු කටයුත්තක් වූවේය. නමුත් ක්‍රමක්‍රමයෙන් ඔහු නැගී සිටින්නට පටන් ගත්තේය. ඔහුගේ වැඩිමහලු සොයුරා විසින් මැක් එල්වින් බාස්කට්බෝල් සඳහා යොමු කරන ලදී. කලක් ගතවනවිට මැක් එල්වින් බාස්කට්බෝල් ප්‍රියතම ක්‍රීඩාවක් කරගත්තේය.
ඔහු අධ්‍යාපනය ලැබූයේ 'Greece Athena' පාසලේය. පාසලේ ළමුන් මෙන්ම අන් සියල්ලෝ මැක් එල්වින්ව හඳුන්වනු ලැබූයේ 'J-Mac' යන නමිනි. Greece Athena හි බාස්කට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට J-Mac අවස්ථා උදාකර ගත්තේය. නමුත් ඔහුට අන්තර් පාසල් තරඟ ක්‍රීඩා කරීමට අවස්තාවක් ලැබුනේ නැත. මෙසේ කාලය ගත්වීගෙන යද්දී Greece Athena සහ Spencerport පාසල් අතර තරඟයක් පැවැත්වුනි. දිනය හරියටම 2006 පෙබරවාරි මස 15 වනදාය. මෙය තමාගේ ජීවිතයේ සුවිශේෂී දිනයක් වනු ඇතැයි මැක් එල්වින් කිසිවිටකත් සිතන්නට නැත. ක්‍රීඩා පුහුණුකරු 'ජිම් ජොන්සන්' මහතා J-Mac ව කණ්ඩායම සඳහා තෝරාගත්තේය. ඔහුට පාසල් බාස්කට්බෝල් 'ජර්සිය' ලැබුනි. තරඟය ආරම්භ විය. ඔහු කණ්ඩායමේ ස්ථානයක් ලැබුනත් ප්‍රධාන ක්‍රීඩකයන් අතරට නොවැටී 'බෙන්ච්' එකේ සිටින්නට සිදුවූවේය. නමුත් පුහුණුකරු ඔහුට යම බලාපොරොත්තුවක් ලබාදී තිබුනි. ඒ යම් අවස්තාවක් ලැබුනොත් J-Mac ක්‍රීඩාපිටියට යවන්නට කටයුතු කරන බවයි.
තරඟය නිමකිරීමට මිනිත්තු හතරක් තිබියදී Greece Athena හට පහසු ජයක් හිමිවන ලකුණු පෙන්නුම් කෙරුනි. මෙනිසා J- Mac හට ක්‍රීඩා කිරීමට අවස්තාව ලැබුනේය. ඔහු මහත් සතුටකින් ක්‍රීඩා පිටියට පැමිණුනේ දිවියේ අමතක නොවන දිනයක අසිරිය විඳගන්නදෝයි සිතෙන්නට ඇත. ඔහුට ලැබුනු පළමු පන්දු යොමුවෙන් ඵල නෙලාගැනීමට ඔහුට නොහැකි විය. ලකුණු තුනක් ලබා ගැනීමට තිබුනු අවස්තාවක් ඔහුට මගහැරුනි. අවාසනාවකට ඔහු ලද දෙවන අවස්තාවද ගිලිහී ගියේය. ඔහු සැලුනේ නැත...සුදු පැහැති අංක 52 ජර්සියක් දරා සිටි ඔහු තම සුදු පැහැති හිස්පටිය මදක් ඇද අතහැරියේය. අඩි පහයි අඟල් හතක් පමන උස රාත්තල් 120 බර මේ කෙසඟ කොල්ලා නව ජවයක් ලබාගත්තේ නරඹන්නන් මෙන්ම අනෙකුත් ක්‍රීඩකයන් මවිතයට පත්කරමිනි. ලකුණු තුනේ අවස්තා හයක් සහ ලකුණු දෙකේ අවස්තාවක් සමග ලකුණු 20 මේ අවසාන මිනිත්තු කිහිපයේදී ලබාගැනීමට ඔහු සමත්විය. තරඟය අවසාන වූයේ 79 - 43 වශයෙන් Greece Athena ජය ලබමිනි.
තරඟ අවසාන විසිල් හඬත් සමගම ක්‍රීඩාගාරයේ සියක්ලෝම පාහේ පිටියට පැන J-Mac වැලඳගෙන උඩදමන්නට වූවෝය...තම සගයන්ගේ ප්‍රීති ඝෝෂා මැද J-Mac තම දිවියේ සුන්දරම මොහොත අත්වින්දේය....
J-Mac පසුව පාසලේ ක්‍රීඩා කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කිරීමට අවස්තාව ලැබුනි. ඔහු ජනප්‍රිය චරිතයක් බවට පත්විය. 2006 මාර්තු 14 වන දින ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් මහතා J-Mac හමුවූවේය. ජනාධිපතිවරයාගේ ඔහුට පැවසූ දෙයින් කතාව අවසන් කරමි.
'බාස්කට්බෝල් කෝට් එක තුල ඔබ සිදුකල විශ්මිත දෙයින් ඔබ අපේ රටේ ජනතාව සිත් බැඳගත්තා. මම හිතන්නේ මේක ඔබේ පුහුණුකරු ජොන්සන් මහතා ඔබට අවස්තාවක් ලබාදීමට කැමෙත්තෙන් සිටීම පිළිබඳව කතාවක්...මේක ඔබේ මව හා පියා ඔබට ඇති ගැඹුරු ආදරය පිළිබඳව කතාවක්...මේක බාස්කට්බෝල් තුල තම හැකියාව හඳුනාගත් තරුණයෙකු රටේ සෑම පුරවැසියෙකුගේම හදවත බැඳගත් කතාවක්....
\මිෂ්කා/
No comments:
Post a Comment