Tuesday, April 24, 2018

පීසා මල්ලී...

පෞද්ගලික ආයතනයක රැකියාවක් කිරීම එක්තරා අතකින් සහනයක් වන්නේ වේතනය ලැබෙන දවසට පමනි. පනස් ගනනක් නිවාඩු අතරින් ලැබෙන අල්පයක්වූ නිවාඩු වල පවා තම ආයතනයේ දියුණුව තකා වැඩකරන්නෝ බොහෝය.
ගෙදර සියලුම දෙනා එකතුවී සිටින නිවාඩු දිනයක පවා අපි ඔෆිස් යන්නේ ඉමහත් වූ ආඩම්බරයක් සිත තවරගෙනය. තවරාගැනීම කෙසේ වෙතත් ගෙදර ඇත්තෝ අපට දෙන කින්ඩිය මුසුවූ බැලුම්, සිනහව ඔවුන්ගේ සිත් පුරවන්නට සමත්ය.
සුනඛ මාක් ගනයට වැටෙන අපි ආපසු නිවෙස දෙසනොබලාම සේවා ස්ථානය කරා යන්නේ 'උඹලටත් ඔහොම දවසක් පැමිනේවා' යන උත්තරීතර ප්‍රාර්ථනාවන් සමගිනි.

එසේ සේවා ස්ථානයට පැමිනෙන අපි නැවත පාසල් කාලයට පැමිනියා කියා සතුටුවන්නේ මල් කිනිති පරිද්දෙනි.
'Guys keep your noice down' ටාගට් ගහල ඉවරද?
....එවන mail වලට reply කරන්න ඕනෙ උඹලා නෙමේනෙ.
'You guys are matured individuals. Dont be like school children'
යැයි කියමින් පාසලක සිරි මවන්නේද ඔවුන්මය. කළමණාකාරවරු නැත්නම් මැනේජර්ස්ලා එසේත් නැතිනම් ටීම් ලීඩර්ස්ලා අප හදවතේ ලැගුම් ගන්නේ එසේය. නොසරුප් වචන වලට මුවින් පිටවීමට ඉඩ නොදී නිවාඩුවක් ඉල්ලූ සැනින් කිසිම පැකිලීමකින් තොරව එය ලබාගන්න යැයි පවසන්නට තරම් ඔවුහු නිහතමානී වෙති.

'කමක් නෑ ඔයා එක leave ගන්න. අනිත් අය ඒක බලාගනී. මමත් ඔයාගේ වැඩ ටික කරන්න බලන්නම්' ඒ වචනම ඇතිය. මෙවැනි පරිසරයක නිවාඩු දිනවල පවා අපි කැමැත්තෙන් වැඩ කරන්නේ ඒ නිසාය.

මේ දේවල් මගේ මතකයට ආවේ මට පහුගිය දවසක මුහුන දෙන්නට වුනු සිදුවීමක් නිසාය. දහවල් වරුවේ පෞද්ගලික කටයුත්තක් සඳහා රාජගිරිය කීල්ස් දෙසට ගමන් කරන මා දුටුවේ රිය අනතුරකි. ඈත සිටම බයිසිකල් කරුවෙකු පාර පුරා එහෙට මෙහෙට වාහන අතරින් එන අයුරු මා දුටුවෙමි. 'මූ නම් වැඩිදුර යන එකක් නෑ' සිතුනේ ඉබේමය. කීල්ස් පසුකර බස් නැවතුම්පළ අසලදීම කැබ් රථයක ගැටුනු ඔහු විසිවී ගොස් පාරටම වැටුනි. රතු සහ කලු ටී ෂර්ට් එකකින් සැරසුනු ඔහු Pizza Hut හි වැඩ කරන අයෙක් බව හඳුනාගැනීමට අපහසු වූයේ නැත. මමද ඉක්මනින් ඔහු වෙත දුවගෙන ගියේ අනික් සිටි පිරිස දුවන නිසාවෙන්ම නොවේ. ඔහුට සීරීම් ඇරෙන්නට වැඩි තුවාලයක් පෙනෙන්නට නැත. ඔහුට නැගිටින්නටවත් අත නොදෙන මිනිසුන් සියලුදෙනාම පාහේ ඔහුට බැනවදිති. ඒ ඔහුගේ අනතුරුදායක රිය පැදවීම නිසාය. මා මෙන්ම බොහෝ දෙනෙක් ඔහුගේ වෙට්ටු දැමිල්ල දැක ඇත.

ගහෙන් වැටුන පීසා මල්ලීට මේ ගොන් හරක් අන් එසැවීම කිසිසේත් අනුමත කළ නොහැක. මා තනිව නැගී සිටියෙමි. (වැරදි අදහසක් නොගන්න. වැටී සිටියේ මා නොව පීසා මල්ලීය)

'සභාවෙන් අවසරයි..මේ අනතුර සම්බන්දයෙන් වචන ස්වල්පයක් ගෙනහැර දැක්වීමට මට අවස්ථාව ලබාදුන් සැමට ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා' වැනි බොළඳ ගී සිනා රැලී මා දෑස නිලංකාර අදුරේ සිරකරවන්නට ඉඩ ඇති නිසාවෙන් එසේ නොකීවෙමි.
'දැන් මේ මනුස්සයට බැනලා වැඩක් නෑනේ. වෙච්චි දේ වෙලා ඉවරයි. දැන් මෙයාව නැගිට්ටවමු'
මම පීසා මල්ලි දෙස හැරුනෙමි. දයානුකම්පාව ඉහවහා ගිය මොහොතක් ලෙස එය විචාරයයන් පවසනවා ඇසුනි.
'මල්ලි මම දන්නව. උඹලටත් ටාගට් තියෙනවනේ. උඹලගේ රයිඩ් එකට වෙලාවක් දීලා තියෙන්නෙ. ඒ වෙලාවට ඩිලිවරි එක කළේ නැත්නම් උඹලගේ සැලරිමයි අඩුවෙන්නේ. ඒත් ඉතින් පාරෙ යනකොට ටිකක් පරිස්සමෙන් පලයන්.ටාගට් වගේ නෙමේ බන් ජීවිතේ'

මා එසේ කීවාට ජීවිතේම ටාගට් එක්ක ගතකල අපිට ඕවා අමුතු නැත. උණක්, හෙම්බිරිස්සාවක් හැදුනත් වැඩට එන්නේ ටාගට් ගසන්නට ඇති දැඩි කැපවීම නිසාමය.

'මල්ලී, ටාගට් එකම නෙමේ ජීවිතේ. උඹ පොඩ්ඩක් ඒ ගැනත් හිතපන්'

පීසා මල්ලි අන්දුන් කුන්දුන් වී මා දෙස බලා හිඳී. 'යකෝ මම වැරදි දෙයක්වත් කිව්වද' සිතූ මා අවට සිරි නරඹන ජනී ජනයා දෙස බැලුවෙමි. සමහරු උපේක්ෂාවෙන් මා දෙස බලාසිටි අතර සමහරු පීසා මල්ලිගේ ලුක් එකේම වෙනත් වර්ශන් වල සිටියෝය.

පොඩි හරි අවුලක් මෙතැන ඇති බව වැටහුන මා නැවත හොඳින් පීසා මල්ලි දෙස බැලුවෙමි. කැරකෙන බෙලිකටු ..බිබිලි නගින දඟර සුළගක් මා ගත දැවටින. පීසා මල්ලිගේ ටී ෂර්ට් එකේ Pizza Hut බැජ් එකක් නොමැත. ඒ ටී ෂර්ට් එක පීසා හට් වැඩකරන අයෙකුගේ නොවන බව පැහැදිලිය. ඔහු අමතර පන්තියකට යන හෝ තම පෙම්වතිය හමුවීමට යන එකකු වීමට බොහෝදුරට ඉඩ ඇත. තවදුරටත් මා පිස්සෙකු නොවන බව සනාථ කිරීම පිනිස මා ඔහු අතින් අල්ලා නැගිට්ටුවෙමි. අසල සිටි පිරිස ව්‍යාකූල මන්ස්වලින් යුක්තව විසිර යන අයුරු දුටුවෙමි. පීසා මල්ලිගේ පිටට තට්ටු කළ මාද එවැනිම මනසක සන්තර්පනය වූ හැඟුම් සමුදායකට ඉඩතබමින් තිරයෙන් මෑත් වුනෙමි.

\මිෂ්කා/

No comments:

Post a Comment