කසුන් බෝලයකට පයින් පහර දෙමින් කකුලෙන් බෝලයට අමුතු සෙල්ලම් දමමින් සාලය පුරා සෙල්ලමේ යෙදෙයි.
'අම්මේ හෙට සිලෙක්ශන්ස්. උදේ පාන්දරින්ම යන්න ඕනේ. ඔන්න කෑම නම් එපා හොදේ'.
'මොකක් කිව්වා'. සුනීතාට කසුන් කීදේ හරිහැටි වැටහුනේ නැත.
'අයියෝ එපාවෙනව අප්පා. ඔයාට කී සැරයක් කිව්වද අම්මේ ..හෙට තමයි ෆුට්බෝල් ටීම් එකට ළමයි තෝරගන්නේ. මම පාන්දරම යනවා...කෑ...ම ...එපා....තේරුනාද'
'එහෙම කොහෙමෙයි. සෙල්ලම් කොරන්න හොඳට හයිය හත්තිය ඕනේ කොලුවෝ. මම උඹට කොස් ටිකක් තම්බලා දෙන්නම් පොලුයි ලුනු මිරිසුයි එක්ක'. 'එපා කිව්වම එපා...උදේ පාන්දර කන්න බෑ..ඔයාට කියනදේ තේරෙන්නෙ නැනේ'.
කසුන්ගේ මවුපියන් වූ සුනීතා සහ සුනිල් ගම හැරදා කොළඹට පැමිනියේ කසුන් ශිෂ්‍යත්වය සමත්වීම නිසාවෙනි. කසුන්ගේ පියා දක්ෂ බයිසිකල් ශූරයෙකි. නමුත් කසුන් කැමැත්තක් දැක්වූයේ පාපන්දු ක්‍රීඩාවටයි.
පසුවදා උදෙන්ම පාසල් ගිය කසුන් තම සගයන් හා සමග පාපන්දු ක්‍රීඩාවේ යෙදුනේ දහවල් පවත්නා තෝරාගැනීමේදී පාසල් කණ්ඩායමට කෙසේ හෝ ඇතුලත්වන අටියෙනි. ඔහු සැබෑවටම ධෛර්යවන්තය. එසේ නොවන්නට ඔහු ශිෂ්‍යත්ව විභාගය අසමත් වන්නට තිබින. විභාගයට සතියකට පෙර ඔහු ආසාත්මිකතාවයක් නිසාවෙන් රෝහල්ගතව සිටියේය. අතෙහි ඇතිවූ තුවාල හේතුවෙන් පෑනක් පැන්සලක් අල්ලනට පවා නොහැකි විය. නමුත් සුනීතා ලවා පොත් පිටු පෙරලගෙන පාඩම් කල ඔහු ඉහලම ළකුණු ගනනක් සමග සමත් වූවේය...
කසුන් පාසල් පාපන්දු කණ්ඩායම සඳහා තෝරා ගැනුනි. ප්‍රීතියෙන් ඉපිලී ගිය ඔහු එදා දිනයේ කිසිම පාඩමකට සවන් යොමුකලේ නැත. ඔහුට පාපන්දු ක්‍රීඩකයන්ගේ මුහුණු රාශියක් මැවී පෙනෙන්නට විය. ඒ අතර ඔහුගේ මුහුණත් තිබුනි. එදින පාසල නිමවී නිවසට ආ හැටි පවා ඔහුට අමතකය. නමුත් වෙනදාටත් වඩා කලියෙන් ගෙදර පැමින ඇති බව ඔහුට පසක් වූයේ ඔරලෝසුව දෙස බැලීමෙනි. ඔහු ගෙය තුලට දිව ගියේය. 'අම්මේ...අම්මේ...'. 'මොකද බන් බෙරිහන් දෙන්නෙ. මොකෝ අද කලින්ම' සුනීතා ඇසුවාය. 'අම්මේ කියන්න බලන්න අද ඉස්කෝලෙ මොනාද උනේ කියල'. 'මන් කොහොමද බන් ඒවා දන්නෙ. මමයැ ඉස්කෝලේ ගියේ'. 'මාව ෆුට්බෝල් ටීම් එකට තේරුනා අම්මේ' ඔහු සුනීතාව වැලඳගෙන කැරකෙන්නට වූවේය. 'අනේ තෙරුවන් සරණයි මගෙ කොල්ලට. මම දන්නව පුතේ උඹට වරදින්නෙ නෑ' ඈ කඳුලු පිසදමමින් කීවාය.
'අම්මේ තාත්තා කෝ. මේ දවස් ටිකේම රෑවෙලානේ එන්නේ...අනික උදෙන්ම මම යන්නත් කලින් ආය ගිහිල්ලා'
'අර බයිසිකල් සවාරියක් තියෙනවා නේ. උදේ පාන්දර ඒකට පුරුදු වෙනවා. ගියපාර වගේම මේ පාරත් දිනන්න ඇහැක්වෙයි. හැබැයි ඉතින් මේ පාර තරුණ කොල්ලො වැඩීලු. ඒක නිසා හොඳට පදින්න වෙයිලු'
කසුන් පාසල් වැඩ වලට වඩා පාපන්දු ක්‍රීඩාව වෙත වැඩි බරක් යොදා තිබුනි. ඒ අන්කිසිවක් නිසා නොව ලඟ ලඟ පැමිනෙන අන්තර් පාසල් පාපන්දු තරඟ වලට මුහුන දීම සඳහාය. පාසල ඇරඹීමට පෙර මෙන්ම පාසල් කාලයෙන් පසුව පුහුණුවීම් සිදුකෙරුනි. සියල්ලම ඉතා සතුටුදායක ලෙස සිදුවූවත් එක් දෙයක් පිලිබඳව කසුන් සිටියේ දැඩි කනස්සල්ලෙනි. ඒ පාපන්දු තරඟයට ක්‍රීඩා කිරීමට අවශ්‍ය දෑ සම්බන්දයෙනි. පාපන්දු පාවහන් දෙකක්, ජර්සිය සහ ඇඳුම, පා ආවරණ සහ අදාල අනෙකුත් දේ ගැනීමට තරමක මුදලක් වැයවෙන අතර ඒ සඳහා වියදම් කිරීමට තම දෙමාපියන්ට අපහසු බව ඔහු හොඳාකාරවම දනී. තාත්තාට ලැබෙන සොච්චම් වැටුපෙන් ගේ කුලිය සහ ගෙදර වියදම් දැරූ විට ඉතිරි වන්නේත් නැති තරම්ය. නමුත් ඒ සියල්ල අමතක කර කසුන් පුහුණුවීම් වල යෙදුනේය. මුදල් සොයාගැනීමට කිසියම් දෙයක් කලයුතුබව ඔහු සිතාගත්තේය. නමුත් ඔහු පුදුමයට පත් කරමින් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය ඔහුගේ පියා ලබාදෙන ලදී. ඒ පිලිබදව ඔහු පියාගෙන් විමසුවත් එයට නිසි පිලිතුරක් ලැබුනේ නැත. අම්මාත් කිසිවක් නොදන්නාබව කීවාය. සමහරවිට පියා රෑ අමතර වැඩකර මුදල් සොයාගන්නට ඇත. ඔහු තනිව සිතුවේය.
කසුන් වෙනදාටත් වඩා උද්‍යෝගයෙන් ක්‍රීඩා වල නිරත වූවේය. පාපන්දු කණ්ඩායමේ ඔහුට නියමිතව තිබුනේ ඉදිරිපෙල ක්‍රීඩා කිරීමටයි (ස්ට්‍රිකෙර්).
'අම්මේ මැච් වල වැඩිම ගෝල් ගහන කෙනාට ගෝල්ඩන් බූට් එක හම්බවෙනවා'. කසුන්ගේ එකම පරමාර්ථය වී තිබුනේ කෙසේහෝ එය තම සතුකරගැනීමටයි.
සියල්ල හොඳින් සිදුවූවද තම නිවසේ කුමක් හෝ දෙයක් සිදුවනබව කසුන්ට ඉව වැටී තිබුනි. මව සහ පියා සෙමෙන් කසු කුසු ගාන අයුරු ඔහු නෙත ගැටුනේ වරක් දෙවරක්ම නොවේ. පියා වෙනදාමෙන් දහවල් කෑම ගෙනයන්නේ නැති බව අහම්බෙන් ඔහු නෙත ගැටින. ඒ ගැන අම්මාගෙන් ඇසූවිට ඇය පැවසූයේ තාත්තාට බඩේ කැක්කුමක් නිසා එසේ කල බවයි. පසුදා පාසල නිමවී යහලුවන් සමග ටවුන් එකට ගිය විටකදී ඔහු දුටුවේ කඩයකට වී බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් බොන පියාය. තාත්තා මුදල් අගහිඟ නිසාවෙන් දහවල් ආහාරය පවා නවතා ඇත. මෙහෙම කලොත් තාත්තාට බයිසිකල් සවාරිය ජයගනු නොහැකි වනු ඇත. කුමක් හෝ කලයුතුව ඇත. හෙට පාන්දර තාත්තා බයිසිකල් පදින්නට යන විට ඔහු සමග ගොස් මේ පිලිබදව කතා කිරීමට ඔහු සිතා ගත්තේය. ගෙදරදී කතා කලොත් අම්මා සිත් රිද්දාගන්නා බව ඔහු දනී. ඒ නිසා හොඳම විදිය පියා සමග උදේ කතා කිරීමයි.
පසුවදා පියා සමග යන්නට සිටියත් ඔහු අවදිවනවිට පියා පිටවගොස් ඇත. කසුන් අම්මාටත් නොකියාම නිවසින් පිටව ගියේය. පාර දිගේ ඔහේ ඇවිදගිය ඔහුට බස් නැවතුමේ වාඩිවී සිටිනා පියා දැකගන්නට ලැබින. බයිසිකලය පෙනෙන්නට නැත. ඔහුට කිසිත් සිතාගත නොහැකිය. පසු දිනත් තාත්තා පිටුපස යාමට ඔහු සිතා ගත්තේය. සිදුවූයේ පෙර දිනයේ සිදුවූ දේමය. ඔහු පියා ලඟටම ගියේය. කසුන්ව දැකීනෙන් පියා කලබල විය.
'තාත්තේ මොකද මෙතැන කරන්නේ..කෝ බයිසිකලේ'. පියා නිරුත්තරවනු පෙනුනි. ඔහු තම බයිසිකලය විකුණා දමා ඇත. ඒ මුදල් වලින් කසුන්ට ක්‍රීඩා වලට අවශ්‍ය මුදල් ලබාදී තිබුනි. එය කසුන් දැනගැනීම වැලැක්වීමට හැමදිනම උදේ බයිසිකල් පදින්නට කියා බොරුවට පාරට පැමින කසුන් පාසල් යනතුරු සිට නිවසට පැමින ඇත. කඳුලු කැට කසුන්ගේ දෙකම්මුල් රූටා පහලට වැටුනි. පියා ඔහුව වැලඳගත්තේය. 'පුතේ මම බයිසිකල් තරඟ දිනලා තියෙනවා. කැබිනට් එක පුරාම තියෙන්නෙ කප්. දැන් ඔයාගෙ වාරෙ'. ..........
.
.
.
නිවේදක: ඔබගේ මීලඟ බලාපොරොත්තුව කුමක්ද?
කසුන්: මගේ පියා මෙවරත් බයිසිකල් සවාරිය දිනන මොහොත දැකගන්න...
නිවේදක: ඔබගේ මීලඟ බලාපොරොත්තුව කුමක්ද?
කසුන්: මගේ පියා මෙවරත් බයිසිකල් සවාරිය දිනන මොහොත දැකගන්න...