Tuesday, April 24, 2018

ගෝල්ඩන් බූට්

'ඔය කැබිනට් එක කුඩු නොකර ඉඳපන්. ඕකේ තියෙන ඒවා තාත්තගෙ පන වගේ. දන්නවනේ'

කසුන් බෝලයකට පයින් පහර දෙමින් කකුලෙන් බෝලයට අමුතු සෙල්ලම් දමමින් සාලය පුරා සෙල්ලමේ යෙදෙයි.

'අම්මේ හෙට සිලෙක්ශන්ස්. උදේ පාන්දරින්ම යන්න ඕනේ. ඔන්න කෑම නම් එපා හොදේ'.

'මොකක් කිව්වා'. සුනීතාට කසුන් කීදේ හරිහැටි වැටහුනේ නැත.

'අයියෝ එපාවෙනව අප්පා. ඔයාට කී සැරයක් කිව්වද අම්මේ ..හෙට තමයි ෆුට්බෝල් ටීම් එකට ළමයි තෝරගන්නේ. මම පාන්දරම යනවා...කෑ...ම ...එපා....තේරුනාද'

'එහෙම කොහෙමෙයි. සෙල්ලම් කොරන්න හොඳට හයිය හත්තිය ඕනේ කොලුවෝ. මම උඹට කොස් ටිකක් තම්බලා දෙන්නම් පොලුයි ලුනු මිරිසුයි එක්ක'. 'එපා කිව්වම එපා...උදේ පාන්දර කන්න බෑ..ඔයාට කියනදේ තේරෙන්නෙ නැනේ'.

කසුන්ගේ මවුපියන් වූ සුනීතා සහ සුනිල් ගම හැරදා කොළඹට පැමිනියේ කසුන් ශිෂ්‍යත්වය සමත්වීම නිසාවෙනි. කසුන්ගේ පියා දක්ෂ බයිසිකල් ශූරයෙකි. නමුත් කසුන් කැමැත්තක් දැක්වූයේ පාපන්දු ක්‍රීඩාවටයි.

පසුවදා උදෙන්ම පාසල් ගිය කසුන් තම සගයන් හා සමග පාපන්දු ක්‍රීඩාවේ යෙදුනේ දහවල් පවත්නා තෝරාගැනීමේදී පාසල් කණ්ඩායමට කෙසේ හෝ ඇතුලත්වන අටියෙනි. ඔහු සැබෑවටම ධෛර්යවන්තය. එසේ නොවන්නට ඔහු ශිෂ්‍යත්ව විභාගය අසමත් වන්නට තිබින. විභාගයට සතියකට පෙර ඔහු ආසාත්මිකතාවයක් නිසාවෙන් රෝහල්ගතව සිටියේය. අතෙහි ඇතිවූ තුවාල හේතුවෙන් පෑනක් පැන්සලක් අල්ලනට පවා නොහැකි විය. නමුත් සුනීතා ලවා පොත් පිටු පෙරලගෙන පාඩම් කල ඔහු ඉහලම ළකුණු ගනනක් සමග සමත් වූවේය...

කසුන් පාසල් පාපන්දු කණ්ඩායම සඳහා තෝරා ගැනුනි. ප්‍රීතියෙන් ඉපිලී ගිය ඔහු එදා දිනයේ කිසිම පාඩමකට සවන් යොමුකලේ නැත. ඔහුට පාපන්දු ක්‍රීඩකයන්ගේ මුහුණු රාශියක් මැවී පෙනෙන්නට විය. ඒ අතර ඔහුගේ මුහුණත් තිබුනි. එදින පාසල නිමවී නිවසට ආ හැටි පවා ඔහුට අමතකය. නමුත් වෙනදාටත් වඩා කලියෙන් ගෙදර පැමින ඇති බව ඔහුට පසක් වූයේ ඔරලෝසුව දෙස බැලීමෙනි. ඔහු ගෙය තුලට දිව ගියේය. 'අම්මේ...අම්මේ...'. 'මොකද බන් බෙරිහන් දෙන්නෙ. මොකෝ අද කලින්ම' සුනීතා ඇසුවාය. 'අම්මේ කියන්න බලන්න අද ඉස්කෝලෙ මොනාද උනේ කියල'. 'මන් කොහොමද බන් ඒවා දන්නෙ. මමයැ ඉස්කෝලේ ගියේ'. 'මාව ෆුට්බෝල් ටීම් එකට තේරුනා අම්මේ' ඔහු සුනීතාව වැලඳගෙන කැරකෙන්නට වූවේය. 'අනේ තෙරුවන් සරණයි මගෙ කොල්ලට. මම දන්නව පුතේ උඹට වරදින්නෙ නෑ' ඈ කඳුලු පිසදමමින් කීවාය.

'අම්මේ තාත්තා කෝ. මේ දවස් ටිකේම රෑවෙලානේ එන්නේ...අනික උදෙන්ම මම යන්නත් කලින් ආය ගිහිල්ලා'

'අර බයිසිකල් සවාරියක් තියෙනවා නේ. උදේ පාන්දර ඒකට පුරුදු වෙනවා. ගියපාර වගේම මේ පාරත් දිනන්න ඇහැක්වෙයි. හැබැයි ඉතින් මේ පාර තරුණ කොල්ලො වැඩීලු. ඒක නිසා හොඳට පදින්න වෙයිලු'

කසුන් පාසල් වැඩ වලට වඩා පාපන්දු ක්‍රීඩාව වෙත වැඩි බරක් යොදා තිබුනි. ඒ අන්කිසිවක් නිසා නොව ලඟ ලඟ පැමිනෙන අන්තර් පාසල් පාපන්දු තරඟ වලට මුහුන දීම සඳහාය. පාසල ඇරඹීමට පෙර මෙන්ම පාසල් කාලයෙන් පසුව පුහුණුවීම් සිදුකෙරුනි. සියල්ලම ඉතා සතුටුදායක ලෙස සිදුවූවත් එක් දෙයක් පිලිබඳව කසුන් සිටියේ දැඩි කනස්සල්ලෙනි. ඒ පාපන්දු තරඟයට ක්‍රීඩා කිරීමට අවශ්‍ය දෑ සම්බන්දයෙනි. පාපන්දු පාවහන් දෙකක්, ජර්සිය සහ ඇඳුම, පා ආවරණ සහ අදාල අනෙකුත් දේ ගැනීමට තරමක මුදලක් වැයවෙන අතර ඒ සඳහා වියදම් කිරීමට තම දෙමාපියන්ට අපහසු බව ඔහු හොඳාකාරවම දනී. තාත්තාට ලැබෙන සොච්චම් වැටුපෙන් ගේ කුලිය සහ ගෙදර වියදම් දැරූ විට ඉතිරි වන්නේත් නැති තරම්ය. නමුත් ඒ සියල්ල අමතක කර කසුන් පුහුණුවීම් වල යෙදුනේය. මුදල් සොයාගැනීමට කිසියම් දෙයක් කලයුතුබව ඔහු සිතාගත්තේය. නමුත් ඔහු පුදුමයට පත් කරමින් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය ඔහුගේ පියා ලබාදෙන ලදී. ඒ පිලිබදව ඔහු පියාගෙන් විමසුවත් එයට නිසි පිලිතුරක් ලැබුනේ නැත. අම්මාත් කිසිවක් නොදන්නාබව කීවාය. සමහරවිට පියා රෑ අමතර වැඩකර මුදල් සොයාගන්නට ඇත. ඔහු තනිව සිතුවේය.

කසුන් වෙනදාටත් වඩා උද්‍යෝගයෙන් ක්‍රීඩා වල නිරත වූවේය. පාපන්දු කණ්ඩායමේ ඔහුට නියමිතව තිබුනේ ඉදිරිපෙල ක්‍රීඩා කිරීමටයි (ස්ට්‍රිකෙර්).

'අම්මේ මැච් වල වැඩිම ගෝල් ගහන කෙනාට ගෝල්ඩන් බූට් එක හම්බවෙනවා'. කසුන්ගේ එකම පරමාර්ථය වී තිබුනේ කෙසේහෝ එය තම සතුකරගැනීමටයි.

සියල්ල හොඳින් සිදුවූවද තම නිවසේ කුමක් හෝ දෙයක් සිදුවනබව කසුන්ට ඉව වැටී තිබුනි. මව සහ පියා සෙමෙන් කසු කුසු ගාන අයුරු ඔහු නෙත ගැටුනේ වරක් දෙවරක්ම නොවේ. පියා වෙනදාමෙන් දහවල් කෑම ගෙනයන්නේ නැති බව අහම්බෙන් ඔහු නෙත ගැටින. ඒ ගැන අම්මාගෙන් ඇසූවිට ඇය පැවසූයේ තාත්තාට බඩේ කැක්කුමක් නිසා එසේ කල බවයි. පසුදා පාසල නිමවී යහලුවන් සමග ටවුන් එකට ගිය විටකදී ඔහු දුටුවේ කඩයකට වී බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් බොන පියාය. තාත්තා මුදල් අගහිඟ නිසාවෙන් දහවල් ආහාරය පවා නවතා ඇත. මෙහෙම කලොත් තාත්තාට බයිසිකල් සවාරිය ජයගනු නොහැකි වනු ඇත. කුමක් හෝ කලයුතුව ඇත. හෙට පාන්දර තාත්තා බයිසිකල් පදින්නට යන විට ඔහු සමග ගොස් මේ පිලිබදව කතා කිරීමට ඔහු සිතා ගත්තේය. ගෙදරදී කතා කලොත් අම්මා සිත් රිද්දාගන්නා බව ඔහු දනී. ඒ නිසා හොඳම විදිය පියා සමග උදේ කතා කිරීමයි.

පසුවදා පියා සමග යන්නට සිටියත් ඔහු අවදිවනවිට පියා පිටවගොස් ඇත. කසුන් අම්මාටත් නොකියාම නිවසින් පිටව ගියේය. පාර දිගේ ඔහේ ඇවිදගිය ඔහුට බස් නැවතුමේ වාඩිවී සිටිනා පියා දැකගන්නට ලැබින. බයිසිකලය පෙනෙන්නට නැත. ඔහුට කිසිත් සිතාගත නොහැකිය. පසු දිනත් තාත්තා පිටුපස යාමට ඔහු සිතා ගත්තේය. සිදුවූයේ පෙර දිනයේ සිදුවූ දේමය. ඔහු පියා ලඟටම ගියේය. කසුන්ව දැකීනෙන් පියා කලබල විය.

'තාත්තේ මොකද මෙතැන කරන්නේ..කෝ බයිසිකලේ'. පියා නිරුත්තරවනු පෙනුනි. ඔහු තම බයිසිකලය විකුණා දමා ඇත. ඒ මුදල් වලින් කසුන්ට ක්‍රීඩා වලට අවශ්‍ය මුදල් ලබාදී තිබුනි. එය කසුන් දැනගැනීම වැලැක්වීමට හැමදිනම උදේ බයිසිකල් පදින්නට කියා බොරුවට පාරට පැමින කසුන් පාසල් යනතුරු සිට නිවසට පැමින ඇත. කඳුලු කැට කසුන්ගේ දෙකම්මුල් රූටා පහලට වැටුනි. පියා ඔහුව වැලඳගත්තේය. 'පුතේ මම බයිසිකල් තරඟ දිනලා තියෙනවා. කැබිනට් එක පුරාම තියෙන්නෙ කප්. දැන් ඔයාගෙ වාරෙ'. ..........
.
.
.
නිවේදක: ඔබගේ මීලඟ බලාපොරොත්තුව කුමක්ද?

කසුන්: මගේ පියා මෙවරත් බයිසිකල් සවාරිය දිනන මොහොත දැකගන්න...

ගෝල්ෆ් ජෝන්

වීදිය දිගේ ඇවිදගිය 'ජෝන්'ට දක්නට ලැබුනේ ගෝල්ෆ් බෝලයකි. හෙමිහිට බිමට පහත්වී එය අහුලාගත් ඔහුට ඒ පිළිබඳව ආශාවක් ඇතිවූයේ ඉබේමය. බෝලය සාක්කුවේ දමාගෙන මාවතේ ඉදිරියට ඇවිදගියේ යම්කිසිවක් සොයාගැනීමේ බලාපොරොත්තුවෙනි. කැඩුනු ගෑස් පයිපයක කොටසක් සහ කොසු මිටක් සොයාගෙන එයින් ගෝල්ෆ් පිත්තක් සාදාගෙන ගෝල්ෆ් ක්‍රීඩා කිරීමට සැරසුනේය. ක්‍රීඩාව අවසන් වූයේ වීදියේ වූ සිගරට් කඩයක වීදුරුව කුඩු කරමිනි. එවකට ඔහු හත්වන වියේ පසුවිය. ඒ සිදුවීම ඔහුගේ ජීවිතය වෙනස් කිරීමට හේතුවක් විය. පියා විසින් අලාභය සඳහා මුදල් ගෙවීමක් කර කුඩා 'ජෝන්' හට ගෝල්ෆ් ක්‍රීඩා කට්ටලයක් රැගෙන දුන්නේය. ඔහුගේ සතුට නිම්හිම් නැත. ජෝන්ගේ සහෝදරයා වූ හැරල්ඩ් පැකිලීමකින් තොරවම ජෝන්ගේ පුහුණුකරු වීම බාරගත්තේය. 

Image result for john montague golfer

ජෝන් ඉතා ඉක්මනින් ක්‍රීඩාව ප්‍රගුණ කරන්නට වූ අතර විශ්මිත වූ ක්‍රීඩා කෞෂල්‍යයන් ප්‍රදර්ශණය කලේය. එවකට ඔහු සතු එක් දක්ෂතාවයක් වූයේ වැලි යට එකමත එක තැබූ ගෝල්ෆ් බෝල තුනක් තබා නරඹන්නන් පවසන බෝලයට හරියටම පහර එල්ල කිරීමට ඇති හැකියාවයි. තවත් විටක ඔහු තම සගයෙකුට අභියෝග කරයි. යාර 366 දුරින් පිහිටි ගෝල්ෆ් වල වෙත බෝලය යොමු කිරීම එම අභියෝගයයි. ඔහුගේ මිතුරා සුපුරුදු ගෝල්ෆ් පිත්ත පාවිච්චි කල අතර ජෝන් මේ සඳහා භාවිතාකලේ රේක්කයක්, සවලක් සහ බේස් බෝල් පිත්තකි. ඔහුගේ සගයා එල්ලබ්කල පහර යාර 250ක් පමන දුරට යන්නට ඇත. නැවත එල්ල කල පහර වලින් වලට අඩි දෙකක් පමන දුරින් බෝලය නැවතුනි. ජෝන් ගෝල්ෆ් බෝලය උඩ දමා බේස්බෝල් පිත්තෙන් පහරක් එල්ල කලේය. බෝලය වල ආසන්නයෙන් පිහිටි වැලි ගොඩකට වැටුනි. ඔහු තම සවල ගෙන එල්ල කර පහරින් වලට අඩි 30 ක් පමන දුරකට බෝලය යොමු කිරීමට ඔහු සමත්විය. අවසන රේක්කය ගත් ඔහු බිලියට් බෝලයක් වලට යොමු කරන පරිද්දෙන් ගෝල්ෆ් බෝලය වල කරා එල්ල කරන ලදී. මෙවනි ක්‍රියා නිසා ඔහුට නිරන්තර ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙන්නට විය. ජෝන් එයට දැඩි ලෙස ආශා කලේය. ලේක්සයිඩ් ගෝල්ෆ් සමාජයේ ක්‍රීඩා කල ඔහු වයස 30 දී එහි විශිෂ්ටතමයා බවට පත්වූයේය. ක්‍රීඩා සමාජයේ සැමදෙනා අතර මෙන්ම සාමාන්‍ය ජනතාව අතර මොහු ජනප්‍රිය චරිතයක් බවට පත්විය. මොහු කිසිවිටක තමා ගැන උදම් ඇනුවේ නැත. නමුත් අනුන් ඔහු ගැන උදම් අනනවාට ඔහු තුල කැමැත්තක් විය. සත්තකින්ම මොහු ජනයා අතර වීරයෙක් බවට පත් වූවේය.

නමුත් මේ සියලු ජනප්‍රියතා අතර මොහුගේ ජීවිතය තරමක ගුප්ත ස්වරූපයක් ගන්නා බවත් සමහරුන්ට ඉව වැටී තිබුනි. මන්දයත් ඔහු කොයිතරම් හොඳට ගෝල්ෆ් ක්‍රීඩා කලත් ක්‍රීඩා සමාජයේ දක්ෂතම ක්‍රීඩකයා වුවත් කිසිම විටක ප්‍රසිද්ධ තඟාවලි සඳහා සහභාගී වීම ඔහු ප්‍රතික්ෂේප කලේය. අනෙක් අතට ඔහුගේ ජායාරූප ලබාගන්නවාට ඔහු කිසිසේත්ම කැමතිවූයේ නැත.

මේ අයුරින් ඔහු කැමති ආකාරයට දිගටම සිටින්නට ඔහුට හැකියාව නොලැබුනු අතර මාධ්‍යවේදියන්ට ඕනෑ වූයේ කෙසේහෝ මොහුගේ ජායාරූපය සහිතව ඔහුගේ මේ දක්ෂතා පිළිබඳව තොරතුරු රට පුරා බෙදාහැරීමටය. නමුත් ජෝන් කිසිවිටක ජායාරූප ගන්නට ඉඩ නොදෙන නිසා මාධ්‍යවේදීන් ගේ උත්සාහ ව්‍යර්ත වී තිබුනි.

'ග්‍රාන්ට්ලන්ඩ් රයිස්' නමැති ක්‍රීඩා වාර්තාකරු විටෙක ජෝන්ගේ දක්ෂතා ගැන පලකරපු ලිපියක් විශාල ගනනකගේ අවදානය ලබාගැනීමට සමත්විය. එයින් පසු 1937 දී 'ටයිම්ස්' මැගසිනය විසින් ඔහු ගැන ලිපියක් පලකරන ලදී. එහිදී පෞද්ගලික ජායාරූප ශිල්පියෙකු යොදවා ජෝන්ගේ ජායාරූපයක් ඔහුට හොරෙන් ලබාගෙන එය ලිපිය සමග පලකරන්නට ඔවුන් සමත් වූවෝය. ජායාරූප ශිල්පියා පඳුරු අස්සේ සැගවී සිටිමින් එම ජායාරූපය ලබාගත් බව සඳහන්. එහි ජෝන්ව හඳුනාගැනීමට එතරම් පහසු නැත. 

Image result for john montague golfer

ජෝන්...ජෝන් මොන්ටගූගේ රහසිගත දිවියට කණ කොකා හඬන්නේ මේ මොහොතේ පටන්.

නිව්යෝක් පොලිස් ස්තානාධිපතිවරයෙක්වූ 'ජෝන් කොසාර්ට්' මොන්ටිගූ පිලිබඳව පලවුනු ලිපිය දුටුවේය. ඔහු පුදුමයට පත්වූවේය. ඔහු අවුරුදු හතක් තිස්සේ 'හනා' නමැති නඩුව සම්බන්දයෙන් කරුණු සොයමින් සිටි අතර එම මිනීමැරුම සම්බන්දයෙන් හතරවන සැකකරුවා සොයා ගැනීමට නොහැකිව සිටියේය. පොලිස්පතිවරයා ලොස් ඇන්ජලිස් පොලීසියෙන් උදව් ඉල්ලා සිටියේය. කෙසේහෝ ජෝන් මොන්ටිගූ අත්අඩංගුවට පත්විය. ඔහු තමාගේ සත්‍ය නම ජෝන් මොන්ටිගූ නොවන බවත් එය 'ලා වර්න් මුවර්' බව පිලිගත්තේය. ඇමරිකානු ඩොලර් 10,000 ක ඇප මත ඔහු මුදාහැරුනි. නමුත් නැවත වතාවක් බීර හලක සිදුවූ සිද්දියක් මත ඔහු අතඩංගුවට පත්වූ අතර ඩොලර් 25,000 ක ඇප මත මුදාහරින ලදී. එහිදී ඔහු තම නිවෙස වෙත කෙලින්ම යන බවට වාර්තාකරුවන්ට පවසා තිබුනි. නමුත් එය වෙනස්කල ඔහු හෝටලයක කාමර 17 ක් කුලියට ගෙන ඔහුගේ සමීපතයන් සමග තාවකාලිකව නවාතැන් ගන්නා ලදී. ඔහු අතිශය ප්‍රසිද්දියට පත්ව සිටි නිසා ඔහු නවාතැන් ගත් හෝටලය අසල මිනිසුන්ගෙන් තරුණ ගැහැණු ළමුන්ගෙන් පිරී ඉතිරීමට වැඩි වෙලාවක් ගත්වුනේ නැත. ඔවුන් සමරුපොත් රැගෙන ජෝන්ගේ අත්සන ලබාගැනීනට පොරකෑවෝය. ඒවාට සමරු ලබාදුන් ඔහු තම සමීපතයන් සමග 'කොක්ටේල් පාර්ටි' යක් පැවැත්වූවේය. මේ ආකාරයට තම සමීපතයන් සමග සැප පහසු දිවියක් ගෙවන්නට ඔහු පෙලඹුනේය..

මේ අතර ඔහුට නැවත උසාවිය හමුවේ පෙනී සිටීමට නියෝග ලැබුනි. මෙහිදී මොන්ටිගූ ගේ ගෝල්ෆ් උපකරණ කිහිපයක් අපරාදය සිදුවූ ස්තානයේ වාහනයක තිබී හමුවුනි. 'හනා' පවුලේ අය ඔහුට විරුද්ධව සාක්ෂි දෙමින් කියා සිටියේ අපරාධය සිදුවන මොහොතේ එක් අපරාධකරුවෙක් 'වර්න්' යන නමින් අනෙකෙක්ව ඇමතූබවයි. ඒවා ඔහුට විරුද්ධව පැවති ප්‍රභල සාක්ෂි බවට පත්වූවේය.

ජෝන් මොන්ටිගූගේ මව සහ සොහොයුරිය ඔහුට පක්ෂව සාක්ෂි දුන්නෝය. ජූරිය නඩු තීන්දුව ගෙන ඒමට පැය හතරක් පමන ගන්නා ලදී. මෙසේ නඩුවේ ජූරි තීන්දුව අනුව ජෝන් මොන්ටිගූ නිදහස් බව ප්‍රකාශ විය. රැස්ව සිටියෝ සතුටින් ඉපිලෙමින් සුභපැතුම් එක්කලහ. නමුත් නඩුකාරයා ජූරියේ තීරණය පිළිබඳව තම අසතුට පල කලේය. කෙසේ වෙතත් නඩුව සඳහා විශාල නඩු ගාස්තුවක් ගෙවූ ජෝන් දැන් නිදහස් මිනිසෙකි.

කාලය ඇවෑමෙන් වර්ශ 1937 නොවැම්බර් මස ජෝන් මොන්ටිගූ තම පළමු ප්‍රදර්ශන තරඟය පැවැත්වීමට කටයුතු යොදා තිබින. නමුත් එහිදී රැස්වූ අසීමිත ජනකාය නිසා ජෝන් හට පලමු පහර එල්ල කර දෙවන පහර සඳහා යාමට සෑහෙන වේලාවක් ගතවිය. මේ ආකාරයට ජෝන් හට පෙර දැක්වූ දස්කම් දැක්වීමට නොහැකිවිය.

සමහරවිට ඔහුගේ සිත ඔහු වරදකරු ලෙස පිලිගන්නා නිසා එසේ වන්නට ඇත.

ඔහුගේ ජීවිතයේ තව හොඳ දෙයක් ලෙස වූයේ විවාහයයි. වැන්දබුවක් වූ 'එස්ටර් ප්ලන්කට්' සමග විවාහ වූ ඔහු විවාහ දිවියේ යම් සතුටක් ලැබුවේය.

ඔහු ක්‍රීඩා තරඟ වලට සහභාගී වූවත් ඒවා සාර්තක වූයේ නැත. ඔහු මුදල් ආයෝජනය කර යම් ව්‍යාපාරවල නිරතවූවද ඒවාද සාර්තක නොවීය. 1947 දී බිරිඳගේ වියෝවෙන් ජෝන්ගේ දිවිය සම්පූර්ණයෙන්ම අඩපණ වූවේය. බිරිඳගේ වියෝවෙන් දෙවසරකට පසු බීමතින් රිය පැදවීම නිසා අතඩංගුවට පත්වූ අතර එහිදී හර්දයාබාදයක් ඇතිවිය. 1963 දී ඉනිමඟකින් වැටුනු ඔහු සති කිහිපයක් රෝහල්ගතව සිටියේය.

මේ ආකාරයට ඔහු කරා අභාග්‍ය පැමිනියේ නොසිතූ අයුරින් ය. ඔහු සතුව මුදල් ඉපයීමේ මාර්ග මෙන්ම අදහස් ගනනාවක් පැවතුනද ඉන් එකක්වත් හරියාකාරව සැලසුම් කරගැනීමට ඔහුට හැකිවුනේ නැත. ඔහුගේ සිත නිතරම ඔහු කල වැරදි පිලිබඳව ඔහුටම දොස් පවරන්නට ඇත. අති විශාල ජනකායකගෙන් ආදරය දිනාගත් ජෝන් ටිකෙන් ටික එය නැතිකරගත්තේය.

ඔහුගේ දක්ෂතා හීනවීම සහ ජීවිතයේ සිදුවූ අභාග්‍යසම්පන්න දේවල් එයට ප්‍රධාන හේතුවක් වන්නට ඇත.

1972 දී දෙවන හර්දයාබාදයට මුහුනදුන් ඔහු ජීවිතයෙන් සමුගත්තේය. මෙතරම් ජනදරයක් ලබාසිටි ඔහුගේ මෘත දේහය මෝචරිය මත සතියක කාලයක් තබා තිබුනේ එය භාරගැනීමට කිසිවකු නොසිටිය බැවිනි.

අවසානයේ ඔහුගේ යහලුවෙක් සිරුර හඳුනාගෙන අවසන් කටයුතු සිදුකිරීමට භාරගත්තේය. ඔහුගේ අවසාන කටයුතු සඳහා සහභාගී වූයේ විසි නමදෙනෙක් පමනි. සුවහසක් ජනී ජනයාගේ ගෞරවයට මෙන්ම ආදරයට පාත්‍රවූ මහා ගෝල්ෆ් ක්‍රීඩක ජෝන් මොන්ටිගූ ගේ කතාව එයින් නිමාවිය....


\මිෂ්කා/

පීසා මල්ලී...

පෞද්ගලික ආයතනයක රැකියාවක් කිරීම එක්තරා අතකින් සහනයක් වන්නේ වේතනය ලැබෙන දවසට පමනි. පනස් ගනනක් නිවාඩු අතරින් ලැබෙන අල්පයක්වූ නිවාඩු වල පවා තම ආයතනයේ දියුණුව තකා වැඩකරන්නෝ බොහෝය.
ගෙදර සියලුම දෙනා එකතුවී සිටින නිවාඩු දිනයක පවා අපි ඔෆිස් යන්නේ ඉමහත් වූ ආඩම්බරයක් සිත තවරගෙනය. තවරාගැනීම කෙසේ වෙතත් ගෙදර ඇත්තෝ අපට දෙන කින්ඩිය මුසුවූ බැලුම්, සිනහව ඔවුන්ගේ සිත් පුරවන්නට සමත්ය.
සුනඛ මාක් ගනයට වැටෙන අපි ආපසු නිවෙස දෙසනොබලාම සේවා ස්ථානය කරා යන්නේ 'උඹලටත් ඔහොම දවසක් පැමිනේවා' යන උත්තරීතර ප්‍රාර්ථනාවන් සමගිනි.

එසේ සේවා ස්ථානයට පැමිනෙන අපි නැවත පාසල් කාලයට පැමිනියා කියා සතුටුවන්නේ මල් කිනිති පරිද්දෙනි.
'Guys keep your noice down' ටාගට් ගහල ඉවරද?
....එවන mail වලට reply කරන්න ඕනෙ උඹලා නෙමේනෙ.
'You guys are matured individuals. Dont be like school children'
යැයි කියමින් පාසලක සිරි මවන්නේද ඔවුන්මය. කළමණාකාරවරු නැත්නම් මැනේජර්ස්ලා එසේත් නැතිනම් ටීම් ලීඩර්ස්ලා අප හදවතේ ලැගුම් ගන්නේ එසේය. නොසරුප් වචන වලට මුවින් පිටවීමට ඉඩ නොදී නිවාඩුවක් ඉල්ලූ සැනින් කිසිම පැකිලීමකින් තොරව එය ලබාගන්න යැයි පවසන්නට තරම් ඔවුහු නිහතමානී වෙති.

'කමක් නෑ ඔයා එක leave ගන්න. අනිත් අය ඒක බලාගනී. මමත් ඔයාගේ වැඩ ටික කරන්න බලන්නම්' ඒ වචනම ඇතිය. මෙවැනි පරිසරයක නිවාඩු දිනවල පවා අපි කැමැත්තෙන් වැඩ කරන්නේ ඒ නිසාය.

මේ දේවල් මගේ මතකයට ආවේ මට පහුගිය දවසක මුහුන දෙන්නට වුනු සිදුවීමක් නිසාය. දහවල් වරුවේ පෞද්ගලික කටයුත්තක් සඳහා රාජගිරිය කීල්ස් දෙසට ගමන් කරන මා දුටුවේ රිය අනතුරකි. ඈත සිටම බයිසිකල් කරුවෙකු පාර පුරා එහෙට මෙහෙට වාහන අතරින් එන අයුරු මා දුටුවෙමි. 'මූ නම් වැඩිදුර යන එකක් නෑ' සිතුනේ ඉබේමය. කීල්ස් පසුකර බස් නැවතුම්පළ අසලදීම කැබ් රථයක ගැටුනු ඔහු විසිවී ගොස් පාරටම වැටුනි. රතු සහ කලු ටී ෂර්ට් එකකින් සැරසුනු ඔහු Pizza Hut හි වැඩ කරන අයෙක් බව හඳුනාගැනීමට අපහසු වූයේ නැත. මමද ඉක්මනින් ඔහු වෙත දුවගෙන ගියේ අනික් සිටි පිරිස දුවන නිසාවෙන්ම නොවේ. ඔහුට සීරීම් ඇරෙන්නට වැඩි තුවාලයක් පෙනෙන්නට නැත. ඔහුට නැගිටින්නටවත් අත නොදෙන මිනිසුන් සියලුදෙනාම පාහේ ඔහුට බැනවදිති. ඒ ඔහුගේ අනතුරුදායක රිය පැදවීම නිසාය. මා මෙන්ම බොහෝ දෙනෙක් ඔහුගේ වෙට්ටු දැමිල්ල දැක ඇත.

ගහෙන් වැටුන පීසා මල්ලීට මේ ගොන් හරක් අන් එසැවීම කිසිසේත් අනුමත කළ නොහැක. මා තනිව නැගී සිටියෙමි. (වැරදි අදහසක් නොගන්න. වැටී සිටියේ මා නොව පීසා මල්ලීය)

'සභාවෙන් අවසරයි..මේ අනතුර සම්බන්දයෙන් වචන ස්වල්පයක් ගෙනහැර දැක්වීමට මට අවස්ථාව ලබාදුන් සැමට ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා' වැනි බොළඳ ගී සිනා රැලී මා දෑස නිලංකාර අදුරේ සිරකරවන්නට ඉඩ ඇති නිසාවෙන් එසේ නොකීවෙමි.
'දැන් මේ මනුස්සයට බැනලා වැඩක් නෑනේ. වෙච්චි දේ වෙලා ඉවරයි. දැන් මෙයාව නැගිට්ටවමු'
මම පීසා මල්ලි දෙස හැරුනෙමි. දයානුකම්පාව ඉහවහා ගිය මොහොතක් ලෙස එය විචාරයයන් පවසනවා ඇසුනි.
'මල්ලි මම දන්නව. උඹලටත් ටාගට් තියෙනවනේ. උඹලගේ රයිඩ් එකට වෙලාවක් දීලා තියෙන්නෙ. ඒ වෙලාවට ඩිලිවරි එක කළේ නැත්නම් උඹලගේ සැලරිමයි අඩුවෙන්නේ. ඒත් ඉතින් පාරෙ යනකොට ටිකක් පරිස්සමෙන් පලයන්.ටාගට් වගේ නෙමේ බන් ජීවිතේ'

මා එසේ කීවාට ජීවිතේම ටාගට් එක්ක ගතකල අපිට ඕවා අමුතු නැත. උණක්, හෙම්බිරිස්සාවක් හැදුනත් වැඩට එන්නේ ටාගට් ගසන්නට ඇති දැඩි කැපවීම නිසාමය.

'මල්ලී, ටාගට් එකම නෙමේ ජීවිතේ. උඹ පොඩ්ඩක් ඒ ගැනත් හිතපන්'

පීසා මල්ලි අන්දුන් කුන්දුන් වී මා දෙස බලා හිඳී. 'යකෝ මම වැරදි දෙයක්වත් කිව්වද' සිතූ මා අවට සිරි නරඹන ජනී ජනයා දෙස බැලුවෙමි. සමහරු උපේක්ෂාවෙන් මා දෙස බලාසිටි අතර සමහරු පීසා මල්ලිගේ ලුක් එකේම වෙනත් වර්ශන් වල සිටියෝය.

පොඩි හරි අවුලක් මෙතැන ඇති බව වැටහුන මා නැවත හොඳින් පීසා මල්ලි දෙස බැලුවෙමි. කැරකෙන බෙලිකටු ..බිබිලි නගින දඟර සුළගක් මා ගත දැවටින. පීසා මල්ලිගේ ටී ෂර්ට් එකේ Pizza Hut බැජ් එකක් නොමැත. ඒ ටී ෂර්ට් එක පීසා හට් වැඩකරන අයෙකුගේ නොවන බව පැහැදිලිය. ඔහු අමතර පන්තියකට යන හෝ තම පෙම්වතිය හමුවීමට යන එකකු වීමට බොහෝදුරට ඉඩ ඇත. තවදුරටත් මා පිස්සෙකු නොවන බව සනාථ කිරීම පිනිස මා ඔහු අතින් අල්ලා නැගිට්ටුවෙමි. අසල සිටි පිරිස ව්‍යාකූල මන්ස්වලින් යුක්තව විසිර යන අයුරු දුටුවෙමි. පීසා මල්ලිගේ පිටට තට්ටු කළ මාද එවැනිම මනසක සන්තර්පනය වූ හැඟුම් සමුදායකට ඉඩතබමින් තිරයෙන් මෑත් වුනෙමි.

\මිෂ්කා/

ස්වරූපරාගය සහ Autosexuality


Image result for autosexualityImage result for autosexuality



පහුගිය දවස්වල බුකියට පැමිණි ෆේස් ඇප් උන්මාදය, බොහෝ දෙනෙක් ප්‍රසිද්දියේ බුකිය පුරා හැමෝටම පෙනෙන්නට පෙන්වූවද එසේ නොපෙන්වා හොර රහසේම සතුටුවූ පිරිසක්ද සිටින බව ඔබත් මාත් හොඳාකාරවම දන්නවා ඇත. බොහෝ දෙනෙක් එම රූප අතුරින් වඩා ඇලුම්කලේ තමාගේ රූපය වෙනස් වී විරුද්ධ ලිංගිකව පැමිණි රූපයටයි. එසේනම් අපි නොදන්නා හෝ අපි හොඳින් දන්නා 'නාසිසස්' කෙනෙක් අප තුලද සිටී.
මෙය සියල්ලන්ටම පොදු දෙයක් නොවූවද ඉතා සුලුතරයකට වුවද තිබෙනා තත්වයකි. පුද්ගලයෙක් තමා ගැනම ඇතිකරගන්නා අධික නුරාව ස්වරූපරාගය ලෙස හැඳින්වේ.

Image result for autosexualityමෙයට පදනම වැටෙන්නේ ග්‍රීක ඉතිහාසයෙනි. කිසිදිනක තමාගේ රුව දැක නොතිබුනු නාසිසස් නමැති තරුණයෙක් දිනෙක වනයෙහි සැරිසරන අතරතුර පොකුණකින් මුව සෝදා ගැනීමට යද්දී තමාගේ රුව පොකුණ තුලින් දුටුවේය. ඔහු සිතුවේ ඒ පොකුණ තුල වාසය කරන දෙවඟනක් කියාය. ඔහු ඇය වැලඳ ගැනීමට තැත් කලේය. ඇය දිය රැලි අතර නොපෙනී ගොස් ජලය නිශ්චල වන විට නැවත පැමිනියාය. තරුණයා නැවත ඇය වැළඳගැනීමේ අසාර්තක උත්සාහයක යෙදුනේය. දවස පුරාවට මේ උත්සාහය දැරූ ඔහු පසු දිනයේද පැමිණ ඇයව වැළඳ ගැනීමට උත්සාහ කලේය. මෙසේ දවස් ගනනක් උත්සාහයේ යෙදුන ඔහුගේ දිවිය අවසානයේදී පොකුණටම නතුවිය.

ස්වරූපරාගය යනු එක් ලිංගික තත්වයක්. එය Autosexual හී එක් ප්‍රභේදයක් පමණයි. තමාගේම රූපයට හෝ තමාටම ඇලුම් කරමින් තමා පිළිබඳවම ලිංගික ආශාවක් ඇතිකරගැනීම මේ යටතට වැටෙනවා. බොහෝවිට මෙවැනි පිරිස් තනිව නැත්නම් අන් අයගෙන් මිදී සිටීමට කැමැත්තක් දක්වනවා. නමුත් එසේ නොවන සමාජශීලී අය අතරත් මේ ලිංගික චර්යාව දැකගත හැකියි. ඔබ සමහරවිට වැරදි මතයකට එන්නට පුළුවන් ස්වරූපරාගය ඇත්තන් විශමලිංගික හෝ සමලිංගික චර්යාවන්ට සම්බන්ද නොවේ කියල. නෑ ස්වරූපරාගය තිබුන පලියට ඒ ලිංගික චර් යාවන්ට යොමු නොවී නොඉන්නා කොටසකුත් සිටිනවා. එයින් ගම්‍ය වන්නේ අපට කිසියම් පුද්ගලයෙක් ස්වරූපරාගයයෙක් පමනයි කියා හංවඩු ගසන්නට නොහැකි බවයි.

Autosexuality පිළිබඳව කතාකලොත් එය ආකාර කිහිපයකින් දකින්නට පුළුවන්. මෙහිදී මම ලිංගික හැසිරීම යන වචනය භාවිතා කලද සමහර තැන් වලදී එය ක්‍රියාකාරකම් වල යෙදීමටම අදාල වන්නේ නෑ. එවැනි සිතුවිලි දැරීමත් එයට අයත් වෙනවා.

*තමා සමග ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන අතරම අන් අය සමගත් ලිංගිකව හැසිරීම. මෙය සමාජයේ බහුලතම ලිංගික හැසිරීමද වෙනවා.

*අනුන් ගැන මනසින් මවාගෙන තමා සමග ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම. මෙය ස්වයන්වින්දනය යනුවෙන් හැඳින්වෙනවා.

*තමා ගැනම රාගයක් ඇතිවී තමා පිළිබඳවම සිතාගෙන හෝ ස්පර්ශය මගින් තමා සමගම ලිංගිකව හැසිරීම.

*යම්කිසි වස්තුවක් පිළිබඳව සිතමින් හෝ නෙත් යොමුකරමින් තමා සමගම ලිංගිකව හැසිරීම. උදාහරණ ලෙසට sex toy එකක්, සැමරුම් පලකයක්, ගසක්, සොබාදහම, සංගීතය, යම් ජයාරූපයක්, ගෘහනිර්මාණයක්....

*යම්කිසි වස්තුවක් සමග නොව හුදෙක් සිතුවිලි හරහා යමින් වින්දනයක් ලබමින් තමා සමගම ලිංගිකව හැසිරීම.

ඉතින් අයෙක් මේ ලිංගික ප්‍රභේදයට උපතෙන්ම වැටෙන අතර සමහරු කාලයක් යනවිට ඔවුන්ගේ ආශාවන් සහ අත්දැකීම් නිසාවෙන් මේ ගොඩට වැටෙති. අප රටේ සංස්කෘතික පිළිගැනීම් වලට සහ වෙනත් හේතූන්ට අනුව මෙය බොහෝදෙනා අනුමත නොකරන දෙයකි. සත්‍ය වශයෙන්ම මෙය බැහැරකලයුතු දෙයක්ද? මෙවැනි ලිංගික තත්වයන් ඇති පුද්ගලයන් එයින් ගලවාගත යුතුද?

අපි බලමු මේ ලිංගික තත්වයන් නිසා පුද්ගලයෙක් පහසුවෙන් ලබන දේවල් මොනවාද කියල. සතුට, තෘප්තිය ඔවුන් නිතැතින්ම ලබනවා. මෙය ලබාගන්නට ඉතා පහසුයි. සිත මුල්කරගෙන බොහෝ දේවල් සිදුකල හැකියි. තමාට උවමනා ඕනෑම ආකාරයකින් සතුටු විය හැකියි. අසීමාන්තික්ව සෑහෙන පුළුල් පරාසයක ලිංගික අත්දැකීම් විඳගත හැකියි. තමා පිළිබඳව ආත්ම විශ්වාසයක් ගොඩනගා ගැනීමට පුළුවන් මොකද තමා තමාටම ගොඩක් ආදරය කරන නිසාවෙන්.
ලිංගික ස්වාධීනත්වයක් තිබෙනවා. තමාටම ස්වයං පාලනයක් සිදුකරගන්නට පුළුවන්. තමා කැමති දේ අකමැති දේ දන්නා නිසා ලිංගික ක්‍රියාකාරකම් පහසුයි. ඒ වගේම සතුටු වන තැන් රිදවන තැන් තමාම දන්නා නිසා අවශ්‍ය තැනදි එය නතර කරන්නට හැකියාව පවතිනවා.
ලිංගික ක්‍රියාකාරකම් නිසා ඇතිවන මානසික ආතතිය අවමයි. අවශ්‍ය වෙලාවට වේගයෙන්, සෙමෙන්, නැත්නම් නතර කරමින් තමාට කැමති ආකාරයෙන් සිදුකල හැකියි. ඒ වගේම ලිංගික ක්‍රියාකාරකම් වලින් සිදුවන අනතුරු අවමයි.

මේ ලිංගික තත්වය නිසා පුද්ගලයෙකුට සිදුවියහැකි විනාශය ගැන සලකා බලමු.
මෙහිදී බොහෝවිට තනිවීමක් සිදුවන නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම පහසුවෙන් සිදුවිය හැකියි. කණ්ඩායමක් සමග සිටිනාවිට ගන්නා මත්ද්‍රව්‍ය වලට වඩා හානිදායක මත්කුඩු සහ මත් බෙහෙත් ආදියට ඇබ්බැහිවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා.
කාලය සහ තම ශක්තිය අපතේ යෑමක් මෙමගින් සිදුවෙනවා. තමාට අවශ්‍ය තෘප්තිය පහසුවෙන් ලබාගැනීමට හැකිවීම නිසාවෙන් නිතර නිතර එය ලබාගැනීමට යාමෙන් කාලය වගේම ශක්තිය අපතේ යෑම වලක්වන්න අපහසුයි.
විශමලිංගික, සමලිංගික ආදී ක්‍රියාකාරකම් හා සාපේක්ෂව වැඩි කාලයක් ලිංගික ක්‍රියාකාරකම් වල දීර්ඝ කාලීනව නිරතවීම නිසා හිසරුදාව ආදී රෝගී තත්වයන්ට ලක්වන්නට පිලිවන්.
ඇබ්බැහිවීම නිසා මෙය නැතුවම බැරි තත්වයකට පත්වීමේදී තමාට තනිවන්නට ඉඩ නොලැබුනහොත් නැතිනම් තමා සිටිනා පරිසරය වටපිටාව ඒ සඳහා සුදුසු නොවුනහොත් විශාල කරදරයකට මුහුන පාන්නට සිදුවෙනවා. මෙහිදී විශාල මානසික ආතතියකට පත්වීමට ඇති ඉඩකඩ වැඩියි.
එමෙන්ම රෝගී තත්වයට පත්වී සිටියදීත් තමාට ලිංගික ආශාවන් ඇතිවීම නිසා එය සිදුකරන්නට යෑමෙන් රෝගී තත්වයට බලපෑම් ඇතිවෙන්න පුළුවන්. තමාගේ ශරීරය ලිංගික ක්‍රියාකාරකම් සඳහා සූදානම් නැති වෙන්නට පුළුවන්.

තනිවීම් නිසා සමාජයෙන් කෙමෙන් ඈත්වීමද සිදුවෙයි. මෙනිසා හදිසි අවස්තාවකදී තමාගේ පිහිටට කිසිවෙක් නැතිවෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තනිව සිටිනා නිසා හෝ තමාගේ මේ ලිංගික ක්‍රියාකාරකම් සමාජය දැනගැනීම මගින් සමාජයෙන් කොන්වීමට වුනත් හැකියාවක් පවතිනවා. ඒ වගේම සමාජයේ උසුලු විසුලු වලට ලක්වෙන්නට පුළුවන්. එමගින් ඇතිවන මානසික තත්වයන් ගැන අමුතුවෙන් කියන්නට උවමනා නොවේයැයි සිතමි.
මෙවැනි ලිංගික තත්වයන් නිසා සිතීමේ වේගය අඩුවෙන බව සොයාගෙන ඇත. එමගින් මොළයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවීම වැලැක්විය නොහැක.
ඇත්තෙන්ම සතුටක් වෙනුවෙන් ජීවිතය කෙටිකර ගැනීමට උවමනා නැත. ලෝකයේ ජීවත්වීම තනිවම සිදුකිරීම අපහසුය. මිනිසාට තවත් මිනිසෙකුගේ ආදරය, සෙනෙහස, රැකවරණය ආදී බොහෝ දේ ජීවිතය පුරාවටම අවශ්‍ය වනවා ඇත.

ඔබ ෆේස් ඇප් හරහා ඔබේ විරුද්ධ ලිංගික ජායාරූපය ෆේස් බුක් අප්ලෝඩ් කල පමනින්ම ඔබ ස්වරූපරාගය ඇති තැනැත්තකු බව කියනු නොවටී.

ආශාවන් ඇතිවීම ස්වභාවිකය. නමුත් එයින් ලැබෙන වින්දනය තාවකාලිකය. විඳවීම සදාකාලිකය. එය මේ ලිංගික ප්‍රභේදයට පමනක් සීමාවූවක් නම් නොවේ.

\මිෂ්කා/

අවසාන මිනිත්තු හතර

Image may contain: 6 people, people playing sports

ඕටිසම් (Autism) යනු පූර්ව ළමාවියේදී ළමුනට ඇතිවිය හැකි මානසික තත්වයකි. මනෝ වික්ශිප්තභාවය ලෙස හැඳින්වෙන මෙය සන්නිවේදන දුර්වලතා සහිත මානසික තත්වයක් ලෙස හැඳින්විය හැකිය. අනෙක් අය සමග කතාබහ කිරීමට ඇති අපහසුව, සබඳතා පවත්වාගැනීමට ඇති අපහසුව මූලික රෝග ලක්ෂණ වෙයි. මීට අමතරව මේ ලක්ෂණ නිසාවෙන්ම ඔවුන්ට යහලුවන් ඇතිකරගැනීමේ නොහැකියාවක් මෙන්ම අකමැත්තක් පෙන්නුම් කෙරේ. ඔවුන් ලෝකය දකින්නේ සහ සන්වේදී වන්නේ අනෙක් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා වෙනස් අයුරිනි. පුද්ගලයන් සමග නෙතට නෙත බලා කෙලින් කතා කිරීම සිදු නොකරති. තවද ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේම ලෝකයක් සාදාගෙනය. එහිදී ළමා වයසට නොගැලපෙන තත්වයක් පෙන්නුම් කරයි. මේ රෝගී තත්වය හඳුනාගනු ලැබුවේ ඇමරිකානු වෛද්‍ය ලියෝ කැනර් විසින් 1943 දීය.

ඕටිසම් රෝගයෙන් පෙලෙන ළමුන්ට ඔවුන් සිත තුල ඇතිදේ ප්‍රකාශ කිරීමේ අපහසුවක් පවතී. අන් අයගේ ප්‍රකාශයන් සහ හැඟීම් හඳුනාගැනීමට නොහැකිය. සමහරවිටක කිසිම අරමුණකින් තොරව හැඬීම හෝ සිනාසීම සිදුකරනු ලබයි.
ඕටිසම් සඳහා ඖෂධ නොමැති අතර නිසි අධ්‍යාපන සහ චිකිත්සක ක්‍රම මගින් පාලනය කල හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග ලක්ෂණ වෙනස් විය හැකිය. මෑත කාලය සලකා බලන කල මේ රෝගී තත්වයෙන් පසුවන ළමුන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර සෑම ඇමරිකානු දරුවන් 68 දෙනෙකුගෙන් එක් අයෙකු ඕටිසම් තත්වයේ පසුවන බව අනාවරණය වී තිබේ. මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන අයෙකු ලෙස 'ක්‍රිස්ටීන් ෆෙරාරෝ' හැඳින්විය හැකිය. ඇය ඔබ අප කවුරුත් ආදරය කරන 'සෙසම් ස්ට්‍රීට්' කතා රචිකාවියයි. ඇය විසින් එම වැඩසටහනට 'ජුලියා' නම් කුඩා ගැහැණු ළමයෙකු නිරූපණය කරන මපට් චරිතයක් හඳුන්වා දුන්නීය. මේ ආකාරයට සමාජයේ නොයෙකුත් අයගේ අවධානය ඕටිසම් සඳහා යොමුවී තිබීම සතුටට කරුණකි. මේ දිගහැරෙන්නේ ඕටිසම් රෝගයෙන් පීඩා විඳ එය ජයගන්නට කටයුතු කරගෙන යන තරුණයෙකුගේ කතාවයි.

ඩේවිඩ් සහ ඩෙබී මැක් එල්වින් යුවලට දාව වර්ශ 1987 ඔක්තෝම්බර් මස පළමුවනදින මෙලොව එලිය දුටු ජේසන් මැක් එල්වින් වයස අවුරුදු දෙක වනවිට ඕටිසම් රෝගයෙන් පීඩා විඳින්නට වූවේය. ඔහුව විශේෂ අධ්‍යන පන්ති සඳහා යොමු කෙරුනි. මුල් අවස්තාවල අන් ළමුන් සමග සබඳතා පැවැත්වීම ඔහුට සෑහෙන අසීරු කටයුත්තක් වූවේය. නමුත් ක්‍රමක්‍රමයෙන් ඔහු නැගී සිටින්නට පටන් ගත්තේය. ඔහුගේ වැඩිමහලු සොයුරා විසින් මැක් එල්වින් බාස්කට්බෝල් සඳහා යොමු කරන ලදී. කලක් ගතවනවිට මැක් එල්වින් බාස්කට්බෝල් ප්‍රියතම ක්‍රීඩාවක් කරගත්තේය.

ඔහු අධ්‍යාපනය ලැබූයේ 'Greece Athena' පාසලේය. පාසලේ ළමුන් මෙන්ම අන් සියල්ලෝ මැක් එල්වින්ව හඳුන්වනු ලැබූයේ 'J-Mac' යන නමිනි. Greece Athena හි බාස්කට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට J-Mac අවස්ථා උදාකර ගත්තේය. නමුත් ඔහුට අන්තර් පාසල් තරඟ ක්‍රීඩා කරීමට අවස්තාවක් ලැබුනේ නැත. මෙසේ කාලය ගත්වීගෙන යද්දී Greece Athena සහ Spencerport පාසල් අතර තරඟයක් පැවැත්වුනි. දිනය හරියටම 2006 පෙබරවාරි මස 15 වනදාය. මෙය තමාගේ ජීවිතයේ සුවිශේෂී දිනයක් වනු ඇතැයි මැක් එල්වින් කිසිවිටකත් සිතන්නට නැත. ක්‍රීඩා පුහුණුකරු 'ජිම් ජොන්සන්' මහතා J-Mac ව කණ්ඩායම සඳහා තෝරාගත්තේය. ඔහුට පාසල් බාස්කට්බෝල් 'ජර්සිය' ලැබුනි. තරඟය ආරම්භ විය. ඔහු කණ්ඩායමේ ස්ථානයක් ලැබුනත් ප්‍රධාන ක්‍රීඩකයන් අතරට නොවැටී 'බෙන්ච්' එකේ සිටින්නට සිදුවූවේය. නමුත් පුහුණුකරු ඔහුට යම බලාපොරොත්තුවක් ලබාදී තිබුනි. ඒ යම් අවස්තාවක් ලැබුනොත් J-Mac ක්‍රීඩාපිටියට යවන්නට කටයුතු කරන බවයි.

තරඟය නිමකිරීමට මිනිත්තු හතරක් තිබියදී Greece Athena හට පහසු ජයක් හිමිවන ලකුණු පෙන්නුම් කෙරුනි. මෙනිසා J- Mac හට ක්‍රීඩා කිරීමට අවස්තාව ලැබුනේය. ඔහු මහත් සතුටකින් ක්‍රීඩා පිටියට පැමිණුනේ දිවියේ අමතක නොවන දිනයක අසිරිය විඳගන්නදෝයි සිතෙන්නට ඇත. ඔහුට ලැබුනු පළමු පන්දු යොමුවෙන් ඵල නෙලාගැනීමට ඔහුට නොහැකි විය. ලකුණු තුනක් ලබා ගැනීමට තිබුනු අවස්තාවක් ඔහුට මගහැරුනි. අවාසනාවකට ඔහු ලද දෙවන අවස්තාවද ගිලිහී ගියේය. ඔහු සැලුනේ නැත...සුදු පැහැති අංක 52 ජර්සියක් දරා සිටි ඔහු තම සුදු පැහැති හිස්පටිය මදක් ඇද අතහැරියේය. අඩි පහයි අඟල් හතක් පමන උස රාත්තල් 120 බර මේ කෙසඟ කොල්ලා නව ජවයක් ලබාගත්තේ නරඹන්නන් මෙන්ම අනෙකුත් ක්‍රීඩකයන් මවිතයට පත්කරමිනි. ලකුණු තුනේ අවස්තා හයක් සහ ලකුණු දෙකේ අවස්තාවක් සමග ලකුණු 20 මේ අවසාන මිනිත්තු කිහිපයේදී ලබාගැනීමට ඔහු සමත්විය. තරඟය අවසාන වූයේ 79 - 43 වශයෙන් Greece Athena ජය ලබමිනි.
තරඟ අවසාන විසිල් හඬත් සමගම ක්‍රීඩාගාරයේ සියක්ලෝම පාහේ පිටියට පැන J-Mac වැලඳගෙන උඩදමන්නට වූවෝය...තම සගයන්ගේ ප්‍රීති ඝෝෂා මැද J-Mac තම දිවියේ සුන්දරම මොහොත අත්වින්දේය....

J-Mac පසුව පාසලේ ක්‍රීඩා කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කිරීමට අවස්තාව ලැබුනි. ඔහු ජනප්‍රිය චරිතයක් බවට පත්විය. 2006 මාර්තු 14 වන දින ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් මහතා J-Mac හමුවූවේය. ජනාධිපතිවරයාගේ ඔහුට පැවසූ දෙයින් කතාව අවසන් කරමි.

'බාස්කට්බෝල් කෝට් එක තුල ඔබ සිදුකල විශ්මිත දෙයින් ඔබ අපේ රටේ ජනතාව සිත් බැඳගත්තා. මම හිතන්නේ මේක ඔබේ පුහුණුකරු ජොන්සන් මහතා ඔබට අවස්තාවක් ලබාදීමට කැමෙත්තෙන් සිටීම පිළිබඳව කතාවක්...මේක ඔබේ මව හා පියා ඔබට ඇති ගැඹුරු ආදරය පිළිබඳව කතාවක්...මේක බාස්කට්බෝල් තුල තම හැකියාව හඳුනාගත් තරුණයෙකු රටේ සෑම පුරවැසියෙකුගේම හදවත බැඳගත් කතාවක්....

\මිෂ්කා/


ඕමිය 2- 'ජැක්පොට්'

අප්‍රේල් සිරියත් විඳගෙන ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ඉස්සරහ ඕමි ගහලා වෙච්ච දේවල් ටික මතක ඇතිනේ...අමතක අය, කතාව දන්නෙ නැති අය ගිහිල්ලා 'ඕමිය' කියවන්නකෝ..

ඒ සිද්දි දාමයෙන් පස්සෙ අපිට ඉස්කෝලේ මාරම තැනක් තිබ්බේ. ඒ කියන්නේ තිබ්බේ පන්ති කාමරය තමයි ඉතින් ..

ඔන්න අවුරුදු නිවාඩුවත් ආවා. ගෙදර ඉන්න කාලේ ආයෙත් සුපුරුදු විදියටම කැට සෙල්ලම පටන් ගත්තා. දිනාගෙන ඇවිල්ලා සල්ලි ටිකක් හම්බවෙනකොටම ඔන්න ඉතින් ඇහෙනවා 'මේ අවුරුදු කාලේ හිනහවෙයන් රාලේ..තෙල් ඉහිරුනු කැවුම් ගෙඩිය වාගේ..' කැවුම් බඩගින්න ඉතින් පොඩි බඩගින්න වගේ නෙමේනේ..කැවුම්වල දහසකුත් ඇදකුද කියල හොරෙන් හදපුවා දෙක තුනක් බඩට දාගෙන ආයේ කැට පොලට යනවා.
අපිට අවුරුදු ජයයි. කැට ගහල ඇති වුනාම ඔලිඳ කෙලියට තමා යන්නේ. අපි කරපු ඔලිඳ කෙලිය අනිත් අය කරපු එකට වඩා සෑහෙන වෙනස්. ඒවා ඉතින් මෙතන කියන්න අමාරුයි ...

කොහොමින් කොහොමහරි අවුරුදු ජයටම අවසන් වීගෙන එනවා. ඉස්කෝලේ නිවාඩුවත් ඉවරයි. 'ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ' කිව්වට යන්නම වෙනවා. සීයට අසූව නැත්නම් මොකද්ද එකක් තියෙනවාලුනේ. සීයගේ වයසයි ඉස්කෝලෙයි අතර සම්බන්දය ගොඩක් එවුන්ට ප්‍රශ්නයක්. ඒ කොහොම වුනත් ඔන්න හා හා හරි හාවා කියල කැලේ මැදින් ඉස්කෝලේ යන්න පිටත් වුනා. මෙන්න යනකොට ඉවුරේ ඉන්නවා ඉබ්බා. මූත් ජයට ඇඳගෙන ඉස්කෝලේ යන්න. ඌට ඉබ්බා කියන්නේ හිමින් ගමනක් නිසානම් නෙමයි. ඇත්තටම ඌ ගල් ඉබ්බා. ඒක වෙනම කතාවක්.

කොහොමහරි ඉස්කෝලෙටත් ආවා. පොඩ්ඩක් විතර පරක්කුයි. පොඩ්ඩක් කිව්වට පළවෙනි පීරියඩ් එකත් ඉවරයි. නිකන් මොකටද ගේට්ටුවේ සිකුරිටි අන්කල්ට කරදර කරන්නේ කියල හිතාගෙන පන්සල පැත්තෙන් තියෙන අපේ සුපුරුදු ස්පොට් එකෙන් ඉස්කෝලේ ඇතුලට පනින්න තීරණය කලා. වෙන එවුන් ඉස්කෝලෙ ඇරෙන්න කලින් එලියටයි පනින්නේ. අපි ඒකට දෙකම කරනවා කියල ආඩම්බර වුන අවස්තා එමටයි.

'මචන් අද නම් අරූ අනිවාර්යයෙන්ම ඇති'
මටත් ඒක අමතක වුනා නෙමේ. පන්සල පැත්තෙන් ඉස්කෝලෙට පනින ඕන එකෙක් මූව දැකලා තියෙනවා ..දන්නවා..මූත් එක්ක ඔට්ටුවෙලා තියෙනවා ...ඕව කිය කිය ඉන්නකොටම අලි කඳයා වගේ මූ අපි ඉස්සරහා...
'මොකද මෙතන වෙන්නේ'
මට ඒ වෙලාවේ තමයි ගණදෙවි හෑල්ල මතක්වුනේ.
'මූ පනින්න ලෑස්ති වුනේ. හොඳ වෙලාවට මම දැක්කේ. ඌව අරගෙන යන ගමන්'
'උඹ මෙතනින්ම පැනලා මූව එක්ක යන්නද හදන්නෙ'
'ආයේ ගේට් එකට වටයක් යන්න ඕනේ නෑනේ. මෙතනින් පැනල එක්ක යනවා. මම ප්‍රිෆෙක්ට් රූම් එකට එක්කගෙන යන්නම්' එහෙම කියල මම ඉබ්බගේ අතින් අල්ලගෙන තාප්පෙන් ඌව ඇතුලට දාලා, මාත් පැන්නා. ඉබ්බට මාර ත්‍රිල්..ඒකේ වැඩිකමට මූ අරූගේ නම කියල කෑගැහුවා.

'බල්ලට බිස්කට්...හූ හූ බල්ලට බිස්කට්..'

මාලුවා නහින්නෙ කට නිසා වගේම ඉබ්බා නහින්නෙත් කට නිසා කියල මට ඒ වෙලාවෙ මතක් වුනේ. මම ඉතින් කොකා වෙලා දන්න ශිල්ප පෙන්නුවා.
'අඩෝ ඔහොම හිටපන් කාලකන්නිය..දුවන්නෙපා...අහුවුනොත් තෝව මරනවා' කියල කැගහගෙන මාත් ඉබ්බා පස්සෙ දිව්වා. මරු විකලෙන් බල්ලට බිස්කටුත් අපේ පස්සේ...

ඉතින් එතනිනුත් ගැලවිලා දෙවියන්ට විතරක් කරන්න පුළුවන් වැඩ දොළහ කරන්න තියෙන උන් වගේ අපි ඊලඟට ගියේ ඊලඟ වැඩේට. පන්තියට...ඉගෙන ගන්නත් එපැයි. යනකොට ගණන් පීරියඩ් එක.

'ප්‍රැක්ටිස් ගිහිල්ලා ආවේ මිස් . හරිම මහන්සියි..' කියාගෙන පන්තිය ඇතුලට ගිහිල්ලා ඒ පයින්ම 'මිස් ටක් ගාලා කැන්ටිමට දුවල එන්නම්..' කියල ආයේ මාරු වුනා. අපිටම කියාපු මිස්..හරිම හොදයි ..ඇත්තටම සංවේදී හදවතක් තිබුන කෙනෙක්...

කාඩ් සෙල්ලමත් නැවතුන හින්දා කට්ටිය ෆුල් අවුලෙන් හිටියේ. ඔය අතරේ තමයි දැන් ඔය ඇමෙරිකාවේ ඉන්න ඩිල්ෂාන්, නැත්නම් ඉරංග කිව්වම ඕන එකෙක් දන්නව..අලුත්ම කන්සෙප්ට් එකක් ගෙනාවේ. ධම්මික පෙරේරවත් ඒ වෙනකොට හිතල තිබුනේ නැති සෙල්ලමක් මූ හොයාගත්තා. කවකටුව අරගෙන ඩෙස් එකේ රවුමක් ඇන්ඳා. දැන් ඉතින් කට්ටිය කොර. වෘත්තයක චාපය, ඒකට ලම්භකය ..මෙලෝ හසරක් නොතේරුනත් අපි ඌ කරන දේ බලාගෙන හිටියා. වෘත්තය කොටස් හතරකට බෙදුවා...සමාන කොටස්...ඒවා මාරුවෙන් මාරුවට අඩු වැඩි කියල නම් කලා. ඌ පුටුවෙන් නැගිට්ටා...අපිත් නැගිට්ටේ ඉබේම. සාක්කුවෙන් ආය කටුවක් අරගෙන ඒක ඩෙස් එක උඩින් තිබ්බේ කාඩ් පැක් එකක් ගහන විදියට. ඒක කවකටුව ගහල තිබ්බ සිදුර උඩින් තියලා කවකටුව ගැහුවා. දැන් කැරම් ගහනවා වගේ ආය කටුවේ හිසට ගැහුවා...ඒක කැරකිලා කැරකිලා වැඩි පැත්තක නතරවුනා..

ඔන්න ඔහොමයි අපි ඊලඟ සෙල්ලම පටන් ගත්තේ. මුලින් සත විසිපහට, පනහට, රුපියලට, දෙකට, පහට ඔට්ටු දැම්මා. මේක කාඩ් සෙල්ලමට වඩා ජොලි ..වැඩේ නැගලා යනවා. මේකට 'ජැක්පොට්' කියල නමක් වැටුනා. ඒ වගේම හොයාගත්තු එකාව දිනපු එවුන් සතුට වැඩි කමට සින්දු කියල බදාගත්තා
'ජැක්පොට් පද්මාවතී ඊ ඊ ..ආලේ නොකරා බැරී...'

රුපියල් දහයේ ඔට්ටු වැටුනා. ඔක්කොම හොල්මන් කරල තරංගයයි සංජයයි දැම්ම සීයේ ඔට්ටු..ඒ කාලේ සීයක් කියන්නේ ඉතින් ..අම්මෝ...

ආයේත් අහල පහල පන්තිවල එවුන් අපේ පන්තියට වටවුනා. ඕමී සීන් එක මතකෙවත් නෑ....හැබැයි මුල ටිකේ අපි බොහොම පරිස්සමෙන් මේක කරේ. ඒ නිසා දවස් ගානක්ම කිසිම අවුලක් නැතුව වැඩේ කෙරීගෙන ගියා. අපි හිතන් හිටියේ දිනන සල්ලි වලින් හිත පිරෙන්න කන්න. අනික කානිවල් එකෙන් ෆ්ලේවර්ස් ගොඩක අයිස්ක්‍රීම් කන්න...ඒක ඇත්තටම ලොකු හීනයක්...

ඒ සුන්දර දවස උදාවුනා. හොඳට ඉර පායලා තිබුන දවසක්. වළාකුලුත් වැඩිය තිබුනේ නෑ. එක වළාකුලක රිදී ඉරක් වගේ තිබුනා මතකයි. කිඩාරම් මලේ සුවඳ පවා දැනුන දවසක්. රෝමෝද්ගාමක පේශීත් මොකද්ද වුනා..රසෝද්ගමනය...දන්නෙ නෑ...

අපේ අලහේන්ද්‍ර සර් මේ පෝස්ට් එක බැලුවොත් අහයි අපි කොහොමද ඕලෙවෙල් වලට ඩී ගත්තේ කියලා..ඒක නිසා වැඩි විද්‍යාව ඕනේ නෑ. අචිරවතී මිස් කියලදීපු ස්වර පරාසයන් අතර දෝලනය වෙලා සප්තක අතර අතරමංවුන දවසක් වෙන්න ගියේ මොහොතයි. ඩෙස් වලට බෙර ගගහ සින්දු කියපු උන් එකපාරටම සින්දු නැවැත්තුවා.

අනේ..එනවා...ආයෙමත් ආදරෙන්...ගත දුර හන්දා අඩියට දෙකට දුවල එනවා..ඔව් ඔව් උඹලා හිතපු කෙනා තමයි..අපේ සෙක්ශනල් හෙඩ්. අපි අහුවුනා යාලුවනේ..ඔව් ආයෙමත් ...
'අපි තාමත් කරත්තේ..පූනූ ගෙවුනු කරත්තේ...ගොන්නු ඉතින් අපිම තමයි ..නැත්නම් දෙවැනි පාරක් දෙයිද සර්ට..

'සමනළ කන්දට පියඹන සමනලුන්ට කතාකරලා කියමුද අපි එක දවසක අරන් යන්න...ඕන වුනේ නෑ ...සර්ම කනෙන් අල්ල්ලා ආයේ බුරියෙන් අල්ලලා පිට නවල ආකර්ශනීය පහරවල් දීලා අපිව ආයේ එක්කගෙන ගියා...

ටසිරි..පොඩි උන් කෑ ගහනවා 'පෙරහැර එනවෝ පෙරහැර එනවෝ දඩිබිඩි ගාගෙන අයියලා එනවෝ'
සුදු ගවුමේ මඩ ගෑවුන හැටි හොයන්න වගේ සුදු කලිසම්වල මඩ ගෑවුන හැටි හොයන්න අයත් හිටියා සත්තයි....

'තොපිලා ආයේ වෙන එකක් පටන් ගත්තා නේද ..ගනිවු ඔක්කොම සල්ලි සාක්කුවල තියෙන'
අපරාදේ ..හොඳට දිනාගෙන ආපු දවස...ඔක්කොම වතුරේ...නෙමෙයි සර්ගේ අතේ...
කානිවල් එකේ අයිස්ක්‍රීම් එකක් දියවෙලා බිංදුවක් මගේ මූණ දිගේ එනවා..දිව දාලා ඒක ගත්තට ආවේ ලුණු රහක්....අපේ මල්වගේ පුංචි හිත් තැලෙන්න ඔන්න මෙන්න...

'ගලෝපිය පරයා බැජ් එක'
මම මීක් නැතුව බැජ් එක ගලවලා සර්ට දුන්නා...අපේ ප්‍රින්සිපල්ගේ අහිංසක හීනේ බොඳවෙලා ගියේ ඒ විදියට
.
<උලමෙක් වගේ ඒක මොකද්ද කියල කල්පනා කරන්න එපා. දන්නෙ නැත්නම් ගිහිල්ලා කියවපන් 'ඕමිය'>

ඊට පස්සෙ පැය දෙකක් විතර යනකම් ඉස්කෝලේ කවුරුත් අපිව දැක්කේ නෑ. ඊට පස්සෙත් දවස් ගානක් යනකම් ඉස්කෝලේ කවුරුත් අපිව දැක්කේ නෑ.
.
.
.
.
වෙසක් එකට අපේ බෞද්ධ සංගමෙන් දන්සලක් දුන්නා. ඒකට අපි ආවා. අපේ උන් අපි ලඟට ආවේ දුවගෙන...
'අඩෝ උඹ නියමයි බන්..මට එවපු වෙසක් කාඩ් එක ගති බන්. උඹ නියම යාලුවෙක්. කල්‍යාණ මිත්‍රයෙක්'
'මට එවපු එකත් මරු බන්..තෑන්ක්ස් බන්'
තවත් එකෙක් කියනවා.
'බෞද්ධ සංගමෙන් මේ පාර ගහපු වෙසක් කාඩ් ඔක්කොම විකිණිලා' මම ඇහෙන්නෙ නෑ වගේ හිටියා...
'මේ පාර වෙසක් කූඩු ටිකත් හරිම ලස්සනයි ..වෙනදා වගේ නෙමෙයි'

කානිවල් එකේ අයිස්ක්ක්‍රීම් හීනේ දියවෙලා...අපේ ප්‍රින්සිපල්ගේ හීනේ දියවෙලා...

කන හාරවන සද්දයක් ආවා...ලවුඩ්ස්පීකර් එක ටියුන් වෙනවා...බෙග් මාස්ටර් ඉන් ඇක්ශන්....

'සකල සතම බොමු බැතියෙන්...'
ඒක ඇහුනා විතරයි අපේ ඇස් වලට අමුතු එලියක් ආවා...දිවට අමුතු රසයක් ආවා...වෙසක් වුනාට මොකෝ මේ කියන්නේ ...වරෙල්ලා...යන්න යමල්ලා...මළ කෝලං බහු රූ බොහොමයි...

'සිංහල බෞද්ධ පාසල් කියන්නේ විනය අතින් ඉස්සරහින්ම ඉන්න ඉස්කෝල..'
සර් කෙනෙක් අලුතෙන් ආපු මිස් කෙනෙක්ට එහෙම කියනව ඇහුනා....

\මිෂ්කා/

ඕමිය


Related image

අප්‍රේල් කිට්ටු වෙනකොට ඉස්සර නම් අපි ඉතින් අවුරුදු සිරිය විඳිනවා..කොහා කෑ ගහන හඬ අහන ඉන්නේ කොච්චර ආසාවෙන්ද ..එරබදු පොට්ටු පිපිලා තියෙනවා බලන් ඉන්න පුළුවන්.. වෙලාව යනවා තේරෙන්නේ නෑ.
අම්ම, පුංචි අම්මා, ලොකු අම්මා, නැන්දා කැවුම් බදින හැටි..ආච්චි විටින් විට ඇවිත් කොණ්ඩෙ හරියට ගන්න කියල දෙන හැටි. තව නැන්දලා ලොකු වංගෙඩියක පිටි කොටනවා..පෙනේරෙකින් පිටි හලන හැටි .. ඇන්ලීන් නොබීව නම්‍යශිලීත්වය ඉදිරියේ අපි මවිත වුන අයුරු...
පැත්තක ඉඳගෙන දෙපැත්තට බෙදිලා රබන් පද කියාගන්න හැටි අද වගේ මතකයි. 'රාං රූං කැත්ත දොදොං..පිල වටකර කැත්ත දොදොං'
ඉතින් මේ කියාපුව මගේම අවුරුදු මතකයන් නෙමේ..සමහරවිට කියවන ඔයාගේ වෙන්නැති. ඒ නැත්නම් වෙන කාගෙහරි වෙන්න ඇති.


දැන් කියන්නම්කෝ මගේ අවුරුදු මතකයන්ගෙන් එකක්. අපි නම් අවුරුදු ලංවෙන්නත් කලින් කරන්නේ කැටයක් හොයාගෙන කැට ගහන එක. ඕක පටන් ගන්නේ ගෙදරින්..පස්සෙ හිමීට අහල පහල එවුන් එකතු වෙනවා. ඕක නැගල යනකොට මොකද වෙන්නේ..උඹලට වෙච්ච දේම තමා. ගෙදරින් බර බරේ..එහෙමනම් කමක් නෑ කියන්න පුළුවන්. යාලුවො ඉස්සරහ වීරයෝ වගේ ඉන්න අපි අම්ම බනිනකොට බලු කුක්කන් ගානට වැටෙනවා. ඒත් අම්මා ගියාම ආයේ සිංහ නාද දාලා කොචොක් කරන එකෙක්ට දෙන්නෙක්ට කනට ගහලා කට්ටියවම එතනින් අරගෙන යනවා. ඔන්න ඉතින් කැට සෙල්ලම රබර් කැලේ. ජයටම කෙරීගෙන යනවා. එකා දෙන්න නෙමේ දහය පහළොව එකතු වෙන්න ගන්නවා. අයියල, මාමලා වගේම සීයලත් එකතු වෙනවා. දැන් ඉතින් මේක නවත්වනවා බොරු. දිනුවා පැරදුනා කියල නෑ..දිගටම කැට ගහනවා.
ඉතින් ඔය උන්මාදය අපි අපේ ඉස්කෝලෙටත් ගෙනිච්චා. හැබැයි කැට සෙල්ලම වැඩිකල් කරන්න බැරිවුනා. වැඩිකල් කිව්වට එක දවසක්වත් කරන්න බැරිවුනා. මොකද කැටේ ඩෙස්වල පුටුවල වැදුනම සමහරු ඔට්ටු නෑ.ආයේ දාන්න කියල කියනවා. සමහර නසරානියො කැටේ ගල් කරනවා.
සැ.යු. ගල් කරනවා කියන්නේ හොරකම් කරනවා. නැත්නම් හංගගෙන තියාගන්නවා.

ඕයවගේ දේවල් නිසා කැට ගහන්න වුනේ දවසෙනුත් නැත්නම් පීරියඩ් දෙක තුනක් විතරයි.

පහුවෙනිදා ඒකට විසඳුමක් ගෙනවා අපේ එකෙක්. කාඩ් පැක් එකක් ගෙනවා. ඕමි ගැහුවා මුලින් පොඩි පොඩි ඔට්ටු වලට. වැඩේ නැගලා ගියා. ලොකු ලොකු ඔට්ටු එනකොට ඕමි ගැහිල්ල නවත්වලා බූරුව ගැහිල්ලකට පෙරලුනා. දැන් ඉතින් වැඩේ හොඳටම නැගලා යනවා. අහල පහල පන්තිවල එවුනුත් එනවා. සල්ලි කොල ඩෙස් එකට වැටෙනවා සුටු සුටු ගාලා. සද්දෙත් එන්න එන්නම වැඩියි. මෙච්චර දේවල් වෙනකම් එකම සර් කෙනෙක් මිස් කෙනෙක් ආපු නැති එකනේ පුදුමේ..

ඒ පුදුමේ දිගටම අත්විඳින්න අපිට ඉඩ ලැබුනේ නෑ..ආවේ මිස් කෙනෙක් සර් කෙනෙක් නම් ඉවසගන්න තිබුනා. ආවේ සෙක්ශනල් හෙඩ්. අපිට බුද්ධාගම ඉගැන්නුවේ. කෙලින්ම බඩෙන් අල්ලලා අඹරවලා පිට නමලා ගහන පාර කාපු නැති එකෙක් ඉන්නවනම් ඒ වෙන ඉස්කෝලෙක එකෙක් විතරයි.
ඒක අපේ කරුමේ..එදා අපිට එහෙම පාරක් ගැහුවේ නෑ. එහෙම ගැහුවනම් ඉවසගන්න තිබුනා.
'උඹලා මොනවද කලේ. බූරුවා ගැහුවා නේද?'
'නෑ සර්..අ..අපි ..ඕ...ඕමි ගැහුවෙ'
හොඳවෙලාවට එකෙක් එහෙම කිව්වෙ. නැත්නම් බයටම මගේ එහාපැත්තෙ එකා හිමින් ඔව් කිව්ව එක සර්ට ඇහෙනවා.
'වරෙල්ලා ඔක්කොම පෝලිමට..'

පෝලිමේ හිටියේ පස් දෙනයි. යකඩෝ...එහෙම උනේ කොහොමද?
මම ෆුල් අඤ්ඤකොරොස්. පස්සෙ තමයි දැනගත්තේ සර් එන නිවුස් එක එකෙක් දීලා. ඇහුන එවුන් පැනලා දුවල.මේසෙටම බරවෙලා ගේමෙම හිටපු අපි පස්දෙනාට ඇහිලා නෑ. දෙතුන් දෙනෙක් අපිව ඇදලත් එක්ක. මට ලාවට මතකයි මගේ ශර්ට් එකෙන් ඇදපු එකෙක්ට හැරිලා දෙනව හොඳ පාරක්..ඌ පාර කාගෙනම මොනාද කියාගෙන දිව්වා මතකයි. ඒක ගනන් ගන්න කොහෙද සිහියක්.

ඉතින් අපි පස්දෙනාව පෝලිමට ක්ලාස් රූම් එකේ ඉඳලා පෙරහැර වගේ ගෙනිච්ච. අපි ගියේ ස්කූල් කලර්ස් ගන්න යනවා වගේ ආඩම්බරයෙන්. එහෙම නම් ඉතින් කොච්චර ශෝක්ද...නෑ යකෝ අපි ගියේ වස ලැජ්ජාවෙන්. හැම ක්ලාස් එකකම එවුන් දැල් වල එල්ලිලා අපි දිහා බලාගෙන. ඒ මදිවට පොඩි උන් ලඟට ඇවිල්ලා හූ කිය කිය යනවා. මුලු ඉස්කෝලෙම අපිව දැක්කේ නැති උනත් සැලකිය යුතු පිරිසක් අපිව දැක්කා. ඒ මදිවට මම යන්නෙ ඉස්සරහින්ම.. ප්‍රිෆෙක්ට් බැජ් එකත් ගහගෙන. අපේ පෙරහැර ඇදුනේ ප්‍රින්සිපල් ඔෆිස් පැත්තට.

'අද නම් බඩු බනිස්' මට පිටිපස්සෙ එකා කියනව ඇහුනත් මට පිටිපස්ස බලන්න බෑ.
අපිව ප්‍රින්සිපල් ගේ ඔෆිස් එක ලඟ බිම වාඩිවෙන්න නියම කෙරුනා. සුදු කලිසම් ඇඳන් බිම වාඩිවෙනව කියන එක නිකමට හිතාහන්කෝ...
ඔන්න පස්දෙනා රවුමට බිමවාඩිවෙලා.

'දැන් පන්තියේ කරපු විදියට ඕමි ගහපල්ලා. හරියට කරපන්. නැත්නම් උඹලට ඕක කරන්න වෙන්නේ ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියේ'

ඒ කතාවට නම් ඇඟ හිරිවැටිලා ගියා. බ්‍රිජට්ස්, මෙතෝ, ලේඩීස්, මියුසියස් කෙල්ලො එන ස්කූල් වෑන් ඉස්සරහා එහෙම කරන්න උනොත් ජීවත් වෙලා මොකටද? සර් කිව්වොත් කිව්වා.
අපි බිම වාඩිවෙලා බොක්කෙන්ම ඕමි ගැහුවා.නෙමෙයි ගැහුනා. බිල්ඩින් වල කොරිඩෝ වලට වෙලා අපේ උන් අපි දිහා බලාගෙන ඉන්නෙ ෆුල් ආතල් එකෙන්. අපි ඉස්සරහින් දුවන බටු ඇට වගේ පොඩි උන් ඔක්කොටම වැඩිය හපන්.

මම ප්‍රිෆෙක්ට් නිසා උපරිම කින්ඩිය මට. ප්‍රින්සිපල් ඔෆිස් එකට යන මිස්ලා සර්ලා මුව පුරා නැගුනු හිනාවලින් මුව සරසගෙන..සුදුවන්, දුඹුරුවන් දත් දෙපෙළ හුරතලේ තෝතැන්නක්. අපි දිහා බලලා නිකන් දෙනවා 'කෙලී සියොලඟ දූලී නාලා' ලුක් එකක්. මිස්ල ඉස්සරහ මගේ තිබුන කාඩ් නිකන් එක්ස්පයරි වෙච්ච ක්‍රෙඩිට් කාඩ් ගානට වැටිලා. මම පොඩි හිනාවක් දාලා ස්වයිප් කරන්න හැදුවට වැඩ කරන්නෙම නෑ. ආත්ම ගරුත්වය බල්ලට ගිහිල්ලා තිබ්බේ නැතත් ඒකත් වෙන්න ගියේ ටික වෙලාවයි. පොඩි උන්ගේ අම්මල එන වෙලාව. අපි ඒ අම්මලාට බණ දෙසුවෙ පන්සලේ නායක හාමුදුරුවොන්ටත් බැරි විදියට. ළමයින්ව පිළිවෙලට හදාගන්න අවවාද එහෙම දුන්නේ පේරන්ට්ස් මීටීන් වලත් නැති විදියට. ඒවත් එක්කම දාපු පොඩි පැණි පාරවලුත් එක්ක අපේ කෙල්ලොන්ට දාන ඒවා මොනාද..එහෙම තියාගෙන හිටපු ඒ ආන්ටිල, අක්කල ප්‍රින්සිපල් ඔෆිස් පැත්තට එහෙම එන්න ගත්තම අපි බලු මාක් එකටම වැටුනා. ඔලුව උස්සන්න බැරිතරම්. ඒත් අපි දිගටම ඕමි ගැහුවා.

'හා දැන් කැට කොල තව කීයක් තියෙනවාද?'
'තව පහක් තියෙනවා සර්..'
'එහෙනම් අදට ඇති ඉතුරු ටික හෙට ගහපල්ලා. දැන් නැගිටල පන්ති වලට පලයන්'
අපි නැගිට්ට විදිය කියන්න ඕනේ නෑනේ.

'ආයේ ඉස්කෝලේ ඇතුලේ කාඩ් ගහනවද ?'
'නෑ සර්' අපි ඔක්කොම එක හඬින්...
'උඹලට බදාදා පාඩම් කරන්න දුන්න ගාථා පාඩම්ද?'
අපි එකිනෙකා මූණට මූණ බලා ගත්තේ ඇයි කියල ඔය ප්‍රශ්නෙට මූණ් දීපු උන් දන්නව ඇති. ඒත් ඕනම සෙට් එකක කට නිසා නහින එකෙක් ඉන්නවනේ...
'ඔව් සර් ඔක්කොම කට පාඩම්'
අප්පා ඌට ෆුල් මාක්ස්..අපි කැලේ..

'බොහොම හොඳයි. උඹලා ඔහොම හිටපන්'
සර් ඌව එක්කගෙන ගියා. කොහේ ගියාද කියල තේරුනේ විනාඩි දෙක තුනකට පස්සෙ, ලවුඩ්ස්පීකර් එකෙන් මූ ගාථා කියනවා ඇහුනාම. අන්තිමට මූ කියනවා 'ආපහු කිසිම දවසක අපි ඉස්කෝලේ ඇතුලේ කාඩ් සෙල්ලම් කරන්නේ නෑ. එහෙම කරල අහුවුනොත් අපි ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියේ ඉඳගෙන තමයි කාඩ් සෙල්ලම් කරන්න වෙන්නෙ' කියලා.
අපිට අපි බලුවුන තරම මොහොතකට අමතක උනා. ඒ ලබපු සතුට සමරන්න පහේ ඒවා දාලා බඩ අල්ලගෙන හිනාවුනා.
ඒ සතුට ඇත්තටම රැඳී තිබුනේ වෙන කෙනෙකුන්ගේ නෙත් සඟලේ ..හසරැල්ලේ කියල අපි සිතුවේ නෑ..අපිට දැනුනේ නෑ...සර් අපි ඉස්සරහ ඉන්නව දකින තුරා. සර්ගේ ටීක් ඇස් මගේ දිහාවට යොමුවෙලා වගේ දැනුන නිසා මම බිම බලාගත්තා.

'තමුසේ HP වෙන්නද DHP කෙනෙක් වෙන්නද ආස'
මම හිමීට ඔලුව උස්සලා බැලුවා. සර් ඇස්පිය නොහෙලා බැලුවා..නෙමෙයි බලන් ඉන්නවා..
'ඈ..උගුඩුවෝ ..උඹට උත්තර නැද්ද?'
ඕන මගුලක් වෙන්න කියල ඔහේ හිතට එන එකක් කියල දානව කියල හිතුවා.

'සර් මට ඕනෙ එහෙම වෙන්න නෙමේ. අපේ මල්ලිලාට ආදර්ශයක් වෙන හොඳ ශිෂ්‍ය නායකයෙක් වෙන්න. ඉස්කෝලෙ විනය හොඳින් තියාගන්න. අපෙන් වැරදි වෙනවා තමයි. දැන් අද වුන දේ මුලු ඉස්කෝලෙම දැක්කා. ඒකෙන් පුළුවන් වැරැද්දක් උනාම ඒක කොහොමද හදාගන්නේ කියල අනිත් අයට කියල දෙන්න. මම මගේ වැරැද්ද හදාගන්නවා සර්..ඒ වගේම ඒ වැරැද්ද අනික් කිසිම කෙනෙක් අතින් සිද්ද වෙන්න දෙන්නේ නෑ.....තව මොනව කිව්වද කියල මට මතක නෑ..අපේ උන් මෝචරියක ඉන්න ෆීලින් එකක හිටියේ. සර්ගේ කට ඇරිලා..
මැස්සො දෙතුන් දෙනෙක්ම ලෑස්ති වෙලා හිටියා තරඟෙට.
'සර් මම මේක හෙට එසෙම්බ්ලි එකේදී හැමෝටම ඇහෙන්න කියන්නම්. මම ඉස්කෝලෙට ආදරෙයි' අන්තිමට මම කිව්වා.

උඹලා පුදුම වෙන්න එපා. මම ඇත්තටම ඒ ඔක්කොම කිව්වා. මම පොඩි කාලේ ඉඳලම ඔය වගේ සීන් කරල ගොඩක් වෙලාවට පොර වෙලා තියෙනවා. ඕක මට එච්චර අමාරු සීන් එකක් නෙමේ. මගේ කාඩ් කුඩුවුන හැමවෙලාවකම මම ඔය වගේ ගේමක් ගහනවා.
අනික් උන්ට පන්තියට යන්න කිව්ව සර් මාව ප්‍රින්සිපල් සර් ලඟට එක්කගෙන ගියා. මුලු විස්තරේම කියන්න උනේ මට. කිව්වා ඉතින් ..මොනා කරන්නද
ප්‍රින්සිපල් සර් මගේ ඔලුව අතගාලා 'හොඳයි පුතා. දැන් ක්ලාස් එකට යන්න. හෙට අපි බලමු මොකද්ද කරන්නෙ කියලා'
මම සර්ලා දෙන්නටම වැඳලා ඔෆිස් එකෙන් එලියට ආවා. ඒ එනකොට අරුන් හතරදෙනා නිවුස් එක ඔක්කොටම දීලා.
හීරෝ ඊස් බෑක්...අප්පා...මුන්ගේ සැලකිලි. මට වඩා ලොරි ටෝක්ස් උන් දෙන්නේ.

පහුවෙනිදා උදේ මම කතාවට හොඳටම ලෑස්තිවෙලා ආවේ. දෙනවා ඇඬෙන්න...ඒ කාලෙ ස්මිත්ගේ සීන් එක දැනගෙන හිටියනම් අපේ තාත්තාට එන්න කියනවා කතාව කරනකොට මගේ පිටිපස්සෙන් ඉන්න. උදේම එසම්බ්ලි එකට ක්ලින් ප්‍රින්සිපල් මාව ඔෆිස් එකට කතාකළා.
'පුතා ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි. වැරැද්දක් කරල ඒක නිහතමානීව ඒක පිළිගන්නවා විතරක් නෙමෙයි. ඒකෙන් ඔයා ඔයාගේ ඉස්කෝලෙට තියෙන ආදරේ ගෞරවේ පෙන්නුවා'
මට ෆුල් සැටිස්...
'අපි කතාකරල තීරණේකට ආවා. පුතා ඒ කතාව කරන්න ඕනේ නෑ. පුතා වැරැද්ද පිළිගත්ත එකම ලොකු දෙයක්'

මට ඉතින් ප්‍රින්සිපල් සර්ව බදාගන්න හිතුනා. ඒත් කතාවට මම මාර ගේමක් දීලා රෙඩි වෙලා ආවේ. ඒක අපරාදේ කියල හිතුනා.
'නෑ සර් මම කතාව කරන්නම්...තව හෑලි ගොඩක් මම කියෙව්වා. මගේ පොරකම ඉහවහා ගියා..
ඒත් මට කතාව කරන්න ඕනේ නෑ කියන මතේ තමයි ප්‍රින්සිපල් සර් හිටියේ...
'දැන් එහෙනම් පුතා එසෙම්බ්ලි එකට යන්න. පුතා දවසක මේ ඉස්කෝලේ Hp වෙන්න ඕනේ. ඒක ඔයාගේ ටාගට් එක විදියට තියාගන්න'
'තැන්කියු සර්..'

මම සර්ලට වැඳලා ඔෆිස් එකෙන් එලියට ගියා. මම නිකන් අඟල් ගානක් උඩින් ඇවිදින බව මට දැනුනා. හැබැයි ඒක තිබුනේ පොඩි වෙලාවයි. පිටුපසින් ආපු කිසිවෙක් මගේ උරහිසට තදින් අත තියල මාව නැවැත්තුවා. මම හැරිලා බැලුවා.
'ඈ බොල උගුඩුවෝ...තෝ ප්‍රින්සිපල්ව තැම්බුවට මාව තම්බන්න බෑ. ප්‍රින්සිපල් සර් තව දවස් දෙකකින් ට්‍රාන්සර් වෙනවා. ඊට පස්සෙ උඹේ ඔය කතාව උඹට කියන්න වෙනවා'
මට කින්ඩි සිනාවක් නැගුනේ ඉබේමය.
'අපොයි සර් මම කියන්නම්' මම ආඩම්බර සලු පොරවාගෙන කීවෙමි.
මගේ සලු විසිවුනේ සර් ඊලඟට කියපු දෙයිනි.

'හොඳයි..එහෙනම් ලෑස්ති වෙයන් ඕක සෙක්ශන් එකේ පේරන්ට්ස් මීටින් එකේදි කියන්න'
එහෙම කිව්වානම් අවුලක් ඇත්තේම නැත. අම්මා තාත්තා ශේප් කරගැනීමේ භාරදූර කර්තව්‍යය මම කෙසේහෝ ඉටුකරමි..

'හොඳයි..එහෙනම් ලෑස්ති වෙයන් ඒකට කලින් සෙක්ශන් පේරන්ට්ස් මීටින් එක දවසේ අනිත් හතරදෙනාත් එක්ක ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ලඟ ඉතුරු කැට කොල පහට ඕමිය ගහන්න'

\මිෂ්කා/