Tuesday, April 24, 2018

ඕමිය


Related image

අප්‍රේල් කිට්ටු වෙනකොට ඉස්සර නම් අපි ඉතින් අවුරුදු සිරිය විඳිනවා..කොහා කෑ ගහන හඬ අහන ඉන්නේ කොච්චර ආසාවෙන්ද ..එරබදු පොට්ටු පිපිලා තියෙනවා බලන් ඉන්න පුළුවන්.. වෙලාව යනවා තේරෙන්නේ නෑ.
අම්ම, පුංචි අම්මා, ලොකු අම්මා, නැන්දා කැවුම් බදින හැටි..ආච්චි විටින් විට ඇවිත් කොණ්ඩෙ හරියට ගන්න කියල දෙන හැටි. තව නැන්දලා ලොකු වංගෙඩියක පිටි කොටනවා..පෙනේරෙකින් පිටි හලන හැටි .. ඇන්ලීන් නොබීව නම්‍යශිලීත්වය ඉදිරියේ අපි මවිත වුන අයුරු...
පැත්තක ඉඳගෙන දෙපැත්තට බෙදිලා රබන් පද කියාගන්න හැටි අද වගේ මතකයි. 'රාං රූං කැත්ත දොදොං..පිල වටකර කැත්ත දොදොං'
ඉතින් මේ කියාපුව මගේම අවුරුදු මතකයන් නෙමේ..සමහරවිට කියවන ඔයාගේ වෙන්නැති. ඒ නැත්නම් වෙන කාගෙහරි වෙන්න ඇති.


දැන් කියන්නම්කෝ මගේ අවුරුදු මතකයන්ගෙන් එකක්. අපි නම් අවුරුදු ලංවෙන්නත් කලින් කරන්නේ කැටයක් හොයාගෙන කැට ගහන එක. ඕක පටන් ගන්නේ ගෙදරින්..පස්සෙ හිමීට අහල පහල එවුන් එකතු වෙනවා. ඕක නැගල යනකොට මොකද වෙන්නේ..උඹලට වෙච්ච දේම තමා. ගෙදරින් බර බරේ..එහෙමනම් කමක් නෑ කියන්න පුළුවන්. යාලුවො ඉස්සරහ වීරයෝ වගේ ඉන්න අපි අම්ම බනිනකොට බලු කුක්කන් ගානට වැටෙනවා. ඒත් අම්මා ගියාම ආයේ සිංහ නාද දාලා කොචොක් කරන එකෙක්ට දෙන්නෙක්ට කනට ගහලා කට්ටියවම එතනින් අරගෙන යනවා. ඔන්න ඉතින් කැට සෙල්ලම රබර් කැලේ. ජයටම කෙරීගෙන යනවා. එකා දෙන්න නෙමේ දහය පහළොව එකතු වෙන්න ගන්නවා. අයියල, මාමලා වගේම සීයලත් එකතු වෙනවා. දැන් ඉතින් මේක නවත්වනවා බොරු. දිනුවා පැරදුනා කියල නෑ..දිගටම කැට ගහනවා.
ඉතින් ඔය උන්මාදය අපි අපේ ඉස්කෝලෙටත් ගෙනිච්චා. හැබැයි කැට සෙල්ලම වැඩිකල් කරන්න බැරිවුනා. වැඩිකල් කිව්වට එක දවසක්වත් කරන්න බැරිවුනා. මොකද කැටේ ඩෙස්වල පුටුවල වැදුනම සමහරු ඔට්ටු නෑ.ආයේ දාන්න කියල කියනවා. සමහර නසරානියො කැටේ ගල් කරනවා.
සැ.යු. ගල් කරනවා කියන්නේ හොරකම් කරනවා. නැත්නම් හංගගෙන තියාගන්නවා.

ඕයවගේ දේවල් නිසා කැට ගහන්න වුනේ දවසෙනුත් නැත්නම් පීරියඩ් දෙක තුනක් විතරයි.

පහුවෙනිදා ඒකට විසඳුමක් ගෙනවා අපේ එකෙක්. කාඩ් පැක් එකක් ගෙනවා. ඕමි ගැහුවා මුලින් පොඩි පොඩි ඔට්ටු වලට. වැඩේ නැගලා ගියා. ලොකු ලොකු ඔට්ටු එනකොට ඕමි ගැහිල්ල නවත්වලා බූරුව ගැහිල්ලකට පෙරලුනා. දැන් ඉතින් වැඩේ හොඳටම නැගලා යනවා. අහල පහල පන්තිවල එවුනුත් එනවා. සල්ලි කොල ඩෙස් එකට වැටෙනවා සුටු සුටු ගාලා. සද්දෙත් එන්න එන්නම වැඩියි. මෙච්චර දේවල් වෙනකම් එකම සර් කෙනෙක් මිස් කෙනෙක් ආපු නැති එකනේ පුදුමේ..

ඒ පුදුමේ දිගටම අත්විඳින්න අපිට ඉඩ ලැබුනේ නෑ..ආවේ මිස් කෙනෙක් සර් කෙනෙක් නම් ඉවසගන්න තිබුනා. ආවේ සෙක්ශනල් හෙඩ්. අපිට බුද්ධාගම ඉගැන්නුවේ. කෙලින්ම බඩෙන් අල්ලලා අඹරවලා පිට නමලා ගහන පාර කාපු නැති එකෙක් ඉන්නවනම් ඒ වෙන ඉස්කෝලෙක එකෙක් විතරයි.
ඒක අපේ කරුමේ..එදා අපිට එහෙම පාරක් ගැහුවේ නෑ. එහෙම ගැහුවනම් ඉවසගන්න තිබුනා.
'උඹලා මොනවද කලේ. බූරුවා ගැහුවා නේද?'
'නෑ සර්..අ..අපි ..ඕ...ඕමි ගැහුවෙ'
හොඳවෙලාවට එකෙක් එහෙම කිව්වෙ. නැත්නම් බයටම මගේ එහාපැත්තෙ එකා හිමින් ඔව් කිව්ව එක සර්ට ඇහෙනවා.
'වරෙල්ලා ඔක්කොම පෝලිමට..'

පෝලිමේ හිටියේ පස් දෙනයි. යකඩෝ...එහෙම උනේ කොහොමද?
මම ෆුල් අඤ්ඤකොරොස්. පස්සෙ තමයි දැනගත්තේ සර් එන නිවුස් එක එකෙක් දීලා. ඇහුන එවුන් පැනලා දුවල.මේසෙටම බරවෙලා ගේමෙම හිටපු අපි පස්දෙනාට ඇහිලා නෑ. දෙතුන් දෙනෙක් අපිව ඇදලත් එක්ක. මට ලාවට මතකයි මගේ ශර්ට් එකෙන් ඇදපු එකෙක්ට හැරිලා දෙනව හොඳ පාරක්..ඌ පාර කාගෙනම මොනාද කියාගෙන දිව්වා මතකයි. ඒක ගනන් ගන්න කොහෙද සිහියක්.

ඉතින් අපි පස්දෙනාව පෝලිමට ක්ලාස් රූම් එකේ ඉඳලා පෙරහැර වගේ ගෙනිච්ච. අපි ගියේ ස්කූල් කලර්ස් ගන්න යනවා වගේ ආඩම්බරයෙන්. එහෙම නම් ඉතින් කොච්චර ශෝක්ද...නෑ යකෝ අපි ගියේ වස ලැජ්ජාවෙන්. හැම ක්ලාස් එකකම එවුන් දැල් වල එල්ලිලා අපි දිහා බලාගෙන. ඒ මදිවට පොඩි උන් ලඟට ඇවිල්ලා හූ කිය කිය යනවා. මුලු ඉස්කෝලෙම අපිව දැක්කේ නැති උනත් සැලකිය යුතු පිරිසක් අපිව දැක්කා. ඒ මදිවට මම යන්නෙ ඉස්සරහින්ම.. ප්‍රිෆෙක්ට් බැජ් එකත් ගහගෙන. අපේ පෙරහැර ඇදුනේ ප්‍රින්සිපල් ඔෆිස් පැත්තට.

'අද නම් බඩු බනිස්' මට පිටිපස්සෙ එකා කියනව ඇහුනත් මට පිටිපස්ස බලන්න බෑ.
අපිව ප්‍රින්සිපල් ගේ ඔෆිස් එක ලඟ බිම වාඩිවෙන්න නියම කෙරුනා. සුදු කලිසම් ඇඳන් බිම වාඩිවෙනව කියන එක නිකමට හිතාහන්කෝ...
ඔන්න පස්දෙනා රවුමට බිමවාඩිවෙලා.

'දැන් පන්තියේ කරපු විදියට ඕමි ගහපල්ලා. හරියට කරපන්. නැත්නම් උඹලට ඕක කරන්න වෙන්නේ ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියේ'

ඒ කතාවට නම් ඇඟ හිරිවැටිලා ගියා. බ්‍රිජට්ස්, මෙතෝ, ලේඩීස්, මියුසියස් කෙල්ලො එන ස්කූල් වෑන් ඉස්සරහා එහෙම කරන්න උනොත් ජීවත් වෙලා මොකටද? සර් කිව්වොත් කිව්වා.
අපි බිම වාඩිවෙලා බොක්කෙන්ම ඕමි ගැහුවා.නෙමෙයි ගැහුනා. බිල්ඩින් වල කොරිඩෝ වලට වෙලා අපේ උන් අපි දිහා බලාගෙන ඉන්නෙ ෆුල් ආතල් එකෙන්. අපි ඉස්සරහින් දුවන බටු ඇට වගේ පොඩි උන් ඔක්කොටම වැඩිය හපන්.

මම ප්‍රිෆෙක්ට් නිසා උපරිම කින්ඩිය මට. ප්‍රින්සිපල් ඔෆිස් එකට යන මිස්ලා සර්ලා මුව පුරා නැගුනු හිනාවලින් මුව සරසගෙන..සුදුවන්, දුඹුරුවන් දත් දෙපෙළ හුරතලේ තෝතැන්නක්. අපි දිහා බලලා නිකන් දෙනවා 'කෙලී සියොලඟ දූලී නාලා' ලුක් එකක්. මිස්ල ඉස්සරහ මගේ තිබුන කාඩ් නිකන් එක්ස්පයරි වෙච්ච ක්‍රෙඩිට් කාඩ් ගානට වැටිලා. මම පොඩි හිනාවක් දාලා ස්වයිප් කරන්න හැදුවට වැඩ කරන්නෙම නෑ. ආත්ම ගරුත්වය බල්ලට ගිහිල්ලා තිබ්බේ නැතත් ඒකත් වෙන්න ගියේ ටික වෙලාවයි. පොඩි උන්ගේ අම්මල එන වෙලාව. අපි ඒ අම්මලාට බණ දෙසුවෙ පන්සලේ නායක හාමුදුරුවොන්ටත් බැරි විදියට. ළමයින්ව පිළිවෙලට හදාගන්න අවවාද එහෙම දුන්නේ පේරන්ට්ස් මීටීන් වලත් නැති විදියට. ඒවත් එක්කම දාපු පොඩි පැණි පාරවලුත් එක්ක අපේ කෙල්ලොන්ට දාන ඒවා මොනාද..එහෙම තියාගෙන හිටපු ඒ ආන්ටිල, අක්කල ප්‍රින්සිපල් ඔෆිස් පැත්තට එහෙම එන්න ගත්තම අපි බලු මාක් එකටම වැටුනා. ඔලුව උස්සන්න බැරිතරම්. ඒත් අපි දිගටම ඕමි ගැහුවා.

'හා දැන් කැට කොල තව කීයක් තියෙනවාද?'
'තව පහක් තියෙනවා සර්..'
'එහෙනම් අදට ඇති ඉතුරු ටික හෙට ගහපල්ලා. දැන් නැගිටල පන්ති වලට පලයන්'
අපි නැගිට්ට විදිය කියන්න ඕනේ නෑනේ.

'ආයේ ඉස්කෝලේ ඇතුලේ කාඩ් ගහනවද ?'
'නෑ සර්' අපි ඔක්කොම එක හඬින්...
'උඹලට බදාදා පාඩම් කරන්න දුන්න ගාථා පාඩම්ද?'
අපි එකිනෙකා මූණට මූණ බලා ගත්තේ ඇයි කියල ඔය ප්‍රශ්නෙට මූණ් දීපු උන් දන්නව ඇති. ඒත් ඕනම සෙට් එකක කට නිසා නහින එකෙක් ඉන්නවනේ...
'ඔව් සර් ඔක්කොම කට පාඩම්'
අප්පා ඌට ෆුල් මාක්ස්..අපි කැලේ..

'බොහොම හොඳයි. උඹලා ඔහොම හිටපන්'
සර් ඌව එක්කගෙන ගියා. කොහේ ගියාද කියල තේරුනේ විනාඩි දෙක තුනකට පස්සෙ, ලවුඩ්ස්පීකර් එකෙන් මූ ගාථා කියනවා ඇහුනාම. අන්තිමට මූ කියනවා 'ආපහු කිසිම දවසක අපි ඉස්කෝලේ ඇතුලේ කාඩ් සෙල්ලම් කරන්නේ නෑ. එහෙම කරල අහුවුනොත් අපි ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියේ ඉඳගෙන තමයි කාඩ් සෙල්ලම් කරන්න වෙන්නෙ' කියලා.
අපිට අපි බලුවුන තරම මොහොතකට අමතක උනා. ඒ ලබපු සතුට සමරන්න පහේ ඒවා දාලා බඩ අල්ලගෙන හිනාවුනා.
ඒ සතුට ඇත්තටම රැඳී තිබුනේ වෙන කෙනෙකුන්ගේ නෙත් සඟලේ ..හසරැල්ලේ කියල අපි සිතුවේ නෑ..අපිට දැනුනේ නෑ...සර් අපි ඉස්සරහ ඉන්නව දකින තුරා. සර්ගේ ටීක් ඇස් මගේ දිහාවට යොමුවෙලා වගේ දැනුන නිසා මම බිම බලාගත්තා.

'තමුසේ HP වෙන්නද DHP කෙනෙක් වෙන්නද ආස'
මම හිමීට ඔලුව උස්සලා බැලුවා. සර් ඇස්පිය නොහෙලා බැලුවා..නෙමෙයි බලන් ඉන්නවා..
'ඈ..උගුඩුවෝ ..උඹට උත්තර නැද්ද?'
ඕන මගුලක් වෙන්න කියල ඔහේ හිතට එන එකක් කියල දානව කියල හිතුවා.

'සර් මට ඕනෙ එහෙම වෙන්න නෙමේ. අපේ මල්ලිලාට ආදර්ශයක් වෙන හොඳ ශිෂ්‍ය නායකයෙක් වෙන්න. ඉස්කෝලෙ විනය හොඳින් තියාගන්න. අපෙන් වැරදි වෙනවා තමයි. දැන් අද වුන දේ මුලු ඉස්කෝලෙම දැක්කා. ඒකෙන් පුළුවන් වැරැද්දක් උනාම ඒක කොහොමද හදාගන්නේ කියල අනිත් අයට කියල දෙන්න. මම මගේ වැරැද්ද හදාගන්නවා සර්..ඒ වගේම ඒ වැරැද්ද අනික් කිසිම කෙනෙක් අතින් සිද්ද වෙන්න දෙන්නේ නෑ.....තව මොනව කිව්වද කියල මට මතක නෑ..අපේ උන් මෝචරියක ඉන්න ෆීලින් එකක හිටියේ. සර්ගේ කට ඇරිලා..
මැස්සො දෙතුන් දෙනෙක්ම ලෑස්ති වෙලා හිටියා තරඟෙට.
'සර් මම මේක හෙට එසෙම්බ්ලි එකේදී හැමෝටම ඇහෙන්න කියන්නම්. මම ඉස්කෝලෙට ආදරෙයි' අන්තිමට මම කිව්වා.

උඹලා පුදුම වෙන්න එපා. මම ඇත්තටම ඒ ඔක්කොම කිව්වා. මම පොඩි කාලේ ඉඳලම ඔය වගේ සීන් කරල ගොඩක් වෙලාවට පොර වෙලා තියෙනවා. ඕක මට එච්චර අමාරු සීන් එකක් නෙමේ. මගේ කාඩ් කුඩුවුන හැමවෙලාවකම මම ඔය වගේ ගේමක් ගහනවා.
අනික් උන්ට පන්තියට යන්න කිව්ව සර් මාව ප්‍රින්සිපල් සර් ලඟට එක්කගෙන ගියා. මුලු විස්තරේම කියන්න උනේ මට. කිව්වා ඉතින් ..මොනා කරන්නද
ප්‍රින්සිපල් සර් මගේ ඔලුව අතගාලා 'හොඳයි පුතා. දැන් ක්ලාස් එකට යන්න. හෙට අපි බලමු මොකද්ද කරන්නෙ කියලා'
මම සර්ලා දෙන්නටම වැඳලා ඔෆිස් එකෙන් එලියට ආවා. ඒ එනකොට අරුන් හතරදෙනා නිවුස් එක ඔක්කොටම දීලා.
හීරෝ ඊස් බෑක්...අප්පා...මුන්ගේ සැලකිලි. මට වඩා ලොරි ටෝක්ස් උන් දෙන්නේ.

පහුවෙනිදා උදේ මම කතාවට හොඳටම ලෑස්තිවෙලා ආවේ. දෙනවා ඇඬෙන්න...ඒ කාලෙ ස්මිත්ගේ සීන් එක දැනගෙන හිටියනම් අපේ තාත්තාට එන්න කියනවා කතාව කරනකොට මගේ පිටිපස්සෙන් ඉන්න. උදේම එසම්බ්ලි එකට ක්ලින් ප්‍රින්සිපල් මාව ඔෆිස් එකට කතාකළා.
'පුතා ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි. වැරැද්දක් කරල ඒක නිහතමානීව ඒක පිළිගන්නවා විතරක් නෙමෙයි. ඒකෙන් ඔයා ඔයාගේ ඉස්කෝලෙට තියෙන ආදරේ ගෞරවේ පෙන්නුවා'
මට ෆුල් සැටිස්...
'අපි කතාකරල තීරණේකට ආවා. පුතා ඒ කතාව කරන්න ඕනේ නෑ. පුතා වැරැද්ද පිළිගත්ත එකම ලොකු දෙයක්'

මට ඉතින් ප්‍රින්සිපල් සර්ව බදාගන්න හිතුනා. ඒත් කතාවට මම මාර ගේමක් දීලා රෙඩි වෙලා ආවේ. ඒක අපරාදේ කියල හිතුනා.
'නෑ සර් මම කතාව කරන්නම්...තව හෑලි ගොඩක් මම කියෙව්වා. මගේ පොරකම ඉහවහා ගියා..
ඒත් මට කතාව කරන්න ඕනේ නෑ කියන මතේ තමයි ප්‍රින්සිපල් සර් හිටියේ...
'දැන් එහෙනම් පුතා එසෙම්බ්ලි එකට යන්න. පුතා දවසක මේ ඉස්කෝලේ Hp වෙන්න ඕනේ. ඒක ඔයාගේ ටාගට් එක විදියට තියාගන්න'
'තැන්කියු සර්..'

මම සර්ලට වැඳලා ඔෆිස් එකෙන් එලියට ගියා. මම නිකන් අඟල් ගානක් උඩින් ඇවිදින බව මට දැනුනා. හැබැයි ඒක තිබුනේ පොඩි වෙලාවයි. පිටුපසින් ආපු කිසිවෙක් මගේ උරහිසට තදින් අත තියල මාව නැවැත්තුවා. මම හැරිලා බැලුවා.
'ඈ බොල උගුඩුවෝ...තෝ ප්‍රින්සිපල්ව තැම්බුවට මාව තම්බන්න බෑ. ප්‍රින්සිපල් සර් තව දවස් දෙකකින් ට්‍රාන්සර් වෙනවා. ඊට පස්සෙ උඹේ ඔය කතාව උඹට කියන්න වෙනවා'
මට කින්ඩි සිනාවක් නැගුනේ ඉබේමය.
'අපොයි සර් මම කියන්නම්' මම ආඩම්බර සලු පොරවාගෙන කීවෙමි.
මගේ සලු විසිවුනේ සර් ඊලඟට කියපු දෙයිනි.

'හොඳයි..එහෙනම් ලෑස්ති වෙයන් ඕක සෙක්ශන් එකේ පේරන්ට්ස් මීටින් එකේදි කියන්න'
එහෙම කිව්වානම් අවුලක් ඇත්තේම නැත. අම්මා තාත්තා ශේප් කරගැනීමේ භාරදූර කර්තව්‍යය මම කෙසේහෝ ඉටුකරමි..

'හොඳයි..එහෙනම් ලෑස්ති වෙයන් ඒකට කලින් සෙක්ශන් පේරන්ට්ස් මීටින් එක දවසේ අනිත් හතරදෙනාත් එක්ක ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ලඟ ඉතුරු කැට කොල පහට ඕමිය ගහන්න'

\මිෂ්කා/

No comments:

Post a Comment